85. රංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අඳුන්දිවිසම් දරන්නේ හිමවතෙහි වාසය කළේය. එසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ඔහු වෙතට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් නිකුත්වූ සවණක් බුදුරැස්හි පැහැදී ඇඳිලිබැඳ පසඟ පිහිටුවා නමස්කාර කළේය. හේ ඒ පුණ්‍ය කර්මයෙන් ම එයින් චුත ව තුසිත ආදී දිව්‍යලෝකවල දිවසැපත් අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි පිහිටා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.
හේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පබ්බතෙ හිම වන්තම්හි යනාදිය කීය. එහි පබ්බතෙ යනු ක්‍රමයෙන් බ්‍රෑහති වැඩෙන්නේනුයි පබ්බත නමි. එයට හිම ඇත්තේනුයි හිමවා නමි. හිමවන්ත වූයේද එම පබ්බත වූයේ ද හිමවන්ත පබ්බත නමි. හිමවන්තම්හි යයි කියන ලදි. පෙර මම හිමවත් පව්වෙහි වාසය කෙළෙමි යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
86. දුතියරංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් දුතිය රංසි සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා එහි දොස් දැක එය හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත් පව්වෙහි වාසය කරන්නේ වැහැරී සිවුරු හඳින්නේ විවේක සුවයෙන් වාසය කරයි. එසමයෙහි හේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ඒ පෙදෙසට පැමිණි බව දැක උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු සවණක් බුදුරැස් එහි මෙහි දිවෙනු දඬුවැට පහන් වැටක් සේ එහා මෙහා ඈතට ඈතට විහිදෙනු දැක එහි පැහැදුණේ ඇඳිලිබැඳ වැඳ සිත පහදවා ඒ ප්‍රීති සෝමනස්සයෙන්ම කලුරිය කොට තුසිත ආදී දිව්‍යලෝකවල උපන්නේ එහි සය කාමාවචරයන්හි සම්පත් ද අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ පූර්ව වාසනා වශයෙන් පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුකලෙක පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පබ්බතෙහිමවන්තමහි’ යනාදිය කීහ. එය නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
දුතිය රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
87. ඵලදායක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අටුවාවයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද සියල්ල අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව කළුඅඳුන් දිවිසම් දරන්නේ වාසය කරයි. එසමයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණි බව දැක පහන් සිතැත්තේ මිහිරි ඵල ගෙන වැළඳවීය. හේ ඒ කුසලයෙන් දිව්‍ය ලෝකාදියෙහි පුණ්‍ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව රහත් විය.
පසුකලෙක තමාගේ පුණ්‍යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පබ්බතෙ හිමවන්තම්හි යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිදි නොගැඹුරු අර්ථ ඇත්තේමය.
ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.