86. දුතියරංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් දුතිය රංසි සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා එහි දොස් දැක එය හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත් පව්වෙහි වාසය කරන්නේ වැහැරී සිවුරු හඳින්නේ විවේක සුවයෙන් වාසය කරයි. එසමයෙහි හේ ඵුස්ස භාග්යවතුන් වහන්සේ ඒ පෙදෙසට පැමිණි බව දැක උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු සවණක් බුදුරැස් එහි මෙහි දිවෙනු දඬුවැට පහන් වැටක් සේ එහා මෙහා ඈතට ඈතට විහිදෙනු දැක එහි පැහැදුණේ ඇඳිලිබැඳ වැඳ සිත පහදවා ඒ ප්රීති සෝමනස්සයෙන්ම කලුරිය කොට තුසිත ආදී දිව්යලෝකවල උපන්නේ එහි සය කාමාවචරයන්හි සම්පත් ද අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ පූර්ව වාසනා වශයෙන් පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුකලෙක පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පබ්බතෙහිමවන්තමහි’ යනාදිය කීහ. එය නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
දුතිය රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
87. ඵලදායක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අටුවාවයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද සියල්ල අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව කළුඅඳුන් දිවිසම් දරන්නේ වාසය කරයි. එසමයෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේ එහි පැමිණි බව දැක පහන් සිතැත්තේ මිහිරි ඵල ගෙන වැළඳවීය. හේ ඒ කුසලයෙන් දිව්ය ලෝකාදියෙහි පුණ්ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව රහත් විය.
පසුකලෙක තමාගේ පුණ්යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ පබ්බතෙ හිමවන්තම්හි යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිදි නොගැඹුරු අර්ථ ඇත්තේමය.
ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
88. සද්දසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සද්ද සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණියේ හටගත් සැදැහැ ඇත්තේ තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි අරණ්ය වාසය වසන්නේ තමාට අනුකම්පා පිණිස පැමිණියා වූ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා දහම්හි සිත් පහදවා දිවි ඇතිතාක් සිට පසුකලෙක කලුරිය කොට තුසිත ආදි සදිව්යලෝකවල කාමාවචර සම්පත් ද මිනිසුන් අතර මිනිස් සම්පත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ විදසුන් වඩා රහත්බවට පත්විය.
උන්වහන්සේ පසුකලෙක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීහ. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
සද්දසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
89. බෝධිසිඤ්චක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බෝධිසිඤ්චක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවලදී පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සසුනෙහි පැවිදිව වත්පිළිවෙතින් සසුන බබලවන්නේ මහජනයා බෝධිපූජා කරනු දැක නොයෙක් මල්ද සුවඳ පැන්ද ගෙන්වාගෙන පූජා කළේය. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ කාමාවචර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ උපන් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.
රහත් ව සාසනඵල අනුභව කරන්නේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේන ‘විපස්සිස්ස භගවතො මහාබොධිමහො’ යනාදිය කීය. එහි විශේෂයෙන් පරම වූ නිර්වාණය බලානුයි විපස්සී නමි. විපස්සන්තො චතුරාර්ය සත්යය දක්නාසුලුනුයි විපස්සි නමි. විශේෂයෙන් ශ්රද්ධාවත් අශ්රද්ධාවත් ජනයන් බලානුයි විපස්සි නමි. ඒ විපස්සි භාග්යවතුන් වහන්සේගේ මහාබෝධි උත්සවය විය යන සම්බන්ධයි. එහිද මහාබොධී යනු සතරමග ඥානය බෝධියයි කියනු ලැබේ. එය මෙහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ අවබෝධ කළසේක්නුයි කිණිහිරි රුකද බෝධියයි කියනු ලැබේ ම ය. දෙව්බඹුන් නරන් විසින් පුදන ලද්දේ එය බෝධි යනුයි මහාබෝධි නමි. මහත් වූ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ බෝධි හෝනුයි මහාබොධි නමි. එයට මහා පූජාවක් විය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.