84. අධෝපුප්ථීය ථේර අපදාන වර්ණනාව
අභිභූනාම සො භික්ඛු යනාදි වශයෙන් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා පසුකලෙක කාමයන්හි ආදීනව දැක එය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභීව සෘද්ධීන්හි ද නිපුණ බවට පත්ව හිමවතෙහි වෙසෙයි. ඉන්පසුව සිඛී භාග්යවතුන් වහන්සේගේ අභිභූ නම් අග්රශ්රාවකයන් වහන්සේ විවේකය කැමැතිව හිමවතට වැඩි සේක. ඒ තවුසා අග්රශ්රාවකයන් වහන්සේ දැක, තෙරුන් වහන්සේ සිටි පව්වට නැග, එහි යටතලයෙන් සුවඳවත් පැහැපත් මල් සතක් ගෙන පූජා කළේය. ඉක්බිති ඒ තෙරුන් වහන්සේ ඔහුට අනුමෝදනාව කළහ. ඒ තවුසා ද තමාගේ අසපුවට ගියේය. එහිදී එක් පිඹුරකු විසින් පීඩා කරන ලද්දේ නොපිරිහුන් ධ්යාන ඇත්තේ එම උපද්රවයෙන් ම බ්රහ්මලෝකයට පැමිණියේ විය. සදිව්ය ලෝකවලදී කාමාවචර සම්පත් අනුභව කොට, මිනිසුන් අතර මනුෂ්ය සම්පත් ද ගෙවා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලඟෙයක ඉපදී වැඩිවිය පත්වූයේ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු සිත් ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පසුකලක තමා කරන ලද පිනෙහි නමින් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ,
එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ අභිභූනාමසොභික්ඛු යනාදිය කීය. එහි සීල සමාධීන්ගෙන් අනුන් අභිභවනය කෙරේනුයි අභිභූ නමි. ස්කන්ධ මාරාදී මාරයන් අභිභවති යටපත් කෙරේනුයි හෝ අභිභූ නමි. ස්වසන්තාන පරසන්තාන ගත ක්ලේශයන් යටපත් කෙරේනුයි, දවා හරීනුයි විශේෂයෙන් දවා හරීනුයි, විධ්වංසනය කෙරේනුයි හෝ අභිභු නමි. පිඬු සිඟා යන සුලු යදින සුලු වූයේ භික්ඛු නමි. සුන්බුන් වස්ත්ර දරානුයි හෝ භික්ඛු නමි. අභිභූ වූයේද හේ භික්ඛු වූයේද ඒ භික්ෂුවනුයි අභිභූ භික්ඛු නමි. ඒ අග්රශ්රාවක නම් වේනුයි අර්ථයි. සිඛී භාග්යවතුන් වහන්සේගේ අග්රශ්රාවක භික්ෂුව යන සම්බන්ධයි.
අජගරො මං පීළෙසි යනු මහත් වූ පිඹුරෙක් එබඳු සිල්වත් ධ්යානවත් තාපසයා පෙර කරන ලද පවින් හා වෛරයෙන්ද පෙළීය. හේ ඒ උපද්රවයෙන්ම උපද්රවයට පත්වූයේ නොපිරිහුන් ධ්යාන ඇත්තේ කලුරියකොට බ්රහ්මලෝක පරායණ විය. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
අධොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
85. රංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අඳුන්දිවිසම් දරන්නේ හිමවතෙහි වාසය කළේය. එසමයෙහි විපස්සි භාග්යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ඔහු වෙතට පැමිණි භාග්යවතුන් වහන්සේ දැක ඒ භාග්යවතුන් වහන්සේගේ ශරීරයෙන් නිකුත්වූ සවණක් බුදුරැස්හි පැහැදී ඇඳිලිබැඳ පසඟ පිහිටුවා නමස්කාර කළේය. හේ ඒ පුණ්ය කර්මයෙන් ම එයින් චුත ව තුසිත ආදී දිව්යලෝකවල දිවසැපත් අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි පිහිටා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.
හේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ පබ්බතෙ හිම වන්තම්හි යනාදිය කීය. එහි පබ්බතෙ යනු ක්රමයෙන් බ්රෑහති වැඩෙන්නේනුයි පබ්බත නමි. එයට හිම ඇත්තේනුයි හිමවා නමි. හිමවන්ත වූයේද එම පබ්බත වූයේ ද හිමවන්ත පබ්බත නමි. හිමවන්තම්හි යයි කියන ලදි. පෙර මම හිමවත් පව්වෙහි වාසය කෙළෙමි යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.