81. තිමිරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
චන්දභාගානදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිමිරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා වාසය කරන්නේ ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව චන්දභාගා නදිය අසබඩ වාසය කරයි. විවේක කැමති බැවින් හිමවතට වැඩි සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ දැක වැඳ උන්වහන්සේගේ ගුණ සිහිකොට තිමිර මලක් පූජා කළේය. හේ ඒ පිනින් දෙවියන් අතරද මනුෂ්යයන් අතරද සම්පත් අනුභව කරමින් සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු චන්දභාගා නදීතීරෙ යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලදි. අනුසොතං වජාමහං ගඟ ආසන්නයෙහි, ගංතෙර යන අනුසාරයෙන් යට කියන ලද පරිදි වජාමි යමි. තැන තැන වසමි යන අර්ථයි. නිසින්තං සමණං දිස්වා සමනය කරන ලද පාපයන් ඇති බැවින්, දවාලන ලද පාපයන් ඇති බැවින් ශ්රමණ සංඛ්යාත වූ සම්මා සම්බුදුන් වහන්සේ දැක යන අර්ථයි.
එවං චින්තෙසහං තදා යනු මේ භාග්යවතුන් වහන්සේ තමන් එතරවූ සේක් සියලු සත්ත්වයන් තාරයිස්සති සංසාරයෙන් එගොඩ කරවන සේක.
තමන් කායද්වාර ආදියෙන් දමනය වූ සේ මේ භාග්යවතුන් වහන්සේ අනුන් දමනය කරන සේක. තමන් අස්සත්ථො අස්වැසුණු බවට පත්වූවාහු ක්ලේශ පරිදාහයෙන් මිදුණාහු සංසාරයෙන් මිදුණාහු අනුන් සංසාරයෙන් මුදවන සේක. ඒ මේ භාග්යවතුන් වහන්සේ තමන් කෙලෙස් ගින්නෙන් මිදුණාහු අනුන්ද කෙලෙස් ගින්නෙන් නිවාලන සේක. මෙසේ මම එදා සිතුවෙමි යන අර්ථයි.
ගහෙත්වා තිමිරං පුප්ඵං යනු සියලු වනාන්තරය නිල්වන් රශ්මීන්ගෙන් අන්ධකාරයක් මෙන් කරමින් ගෙවයිනුයි තිමිරපුප්ඵං. ඒ තිමිර පුෂ්පයි කර්ණිකාවෙන් තංගහෙත්වා අල්ලාගෙන මත්ථකෙ හිසට උඩින් අහසෙහි ඔකිරිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
තිමිර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
82. ගතසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරමින් තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, පෙර කරන ලද වාසනා වශයෙන් හටගත් සැදැහැ ඇත්තේ සත්හැවිරිදි වියෙහි ම පැවිදි වූයේ භාග්යවතුන් වහන්සේට ප්රණාමකරණයෙන්ම ප්රකට විය. හේ එක් දවසක් අතිශයින් නිල්වන් මැණිකක පැහැය ඇති නගුලින් සීසෑ අංගනයෙහි නැගුණු මල්සතක් ගෙන අහසෙහි පිදුවේය. හේ දිවි ඇතිතෙක් මහණදම් කොට ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නම් බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී නොබෝ කලෙකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘ජාතියා සත්තවස්සොහං’ යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්තැන් පටන් පිරිපුන් සත්වස් වූයේ යන අර්ථයි. පබ්බජිං අනගාරියං යනු අගාරයට හිතවූයේ අගාරියං. කෘෂි වණික් කර්ම. අගාරිය නැත්තේ අනාගරිය නමි. බුදුසසුනෙහි මම පැවිදි වූයෙමි යන අර්ථයි.