82. ගතසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරමින් තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, පෙර කරන ලද වාසනා වශයෙන් හටගත් සැදැහැ ඇත්තේ සත්හැවිරිදි වියෙහි ම පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රණාමකරණයෙන්ම ප්‍රකට විය. හේ එක් දවසක් අතිශයින් නිල්වන් මැණිකක පැහැය ඇති නගුලින් සීසෑ අංගනයෙහි නැගුණු මල්සතක් ගෙන අහසෙහි පිදුවේය. හේ දිවි ඇතිතෙක් මහණදම් කොට ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නම් බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී නොබෝ කලෙකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘ජාතියා සත්තවස්සොහං’ යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්තැන් පටන් පිරිපුන් සත්වස් වූයේ යන අර්ථයි. පබ්බජිං අනගාරියං යනු අගාරයට හිතවූයේ අගාරියං. කෘෂි වණික් කර්ම. අගාරිය නැත්තේ අනාගරිය නමි. බුදුසසුනෙහි මම පැවිදි වූයෙමි යන අර්ථයි.
සුගතෙන ගතමග්ගං - බුදුන් වහන්සේ ගියමග. සුගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීම් වශයෙන්. හට්ඨමානසො තුටුසිතින් පුදා යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.
ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
83. නිපන්නඤ්ජලිය ථේර අපදාන වර්ණනාව
රුක්ඛමූලෙ නිසින්නොහං යනාදි වශයෙන් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ පැවිදි වී රුක්ඛමූලිකාංගය පුරමින් අරණ්‍යයෙහි වාසය කරයි. එක්කලෙක කටුක ආබාධයක් හටගත්තේය. එයින් පෙළුණේ අතිශයින් අනුකම්පා කටයුතු බවට පත්වූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කරුණාවෙන් එහි වැඩි සේක. ඉක්බිති ඔහු වැදහොත්තේම නැගිටින්නට අපොහොසත් වූයේ හිසෙහි ඇඳිලිකොට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළේය. හේ එයින් චුතව තුසිත භවනයෙහි උපන්නේ එහි සම්පත් ද කාමාවචර සයෙහි සම්පත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශෘස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය. පෙර කරන ලද පින් වශයෙන් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,
පසුකලක පුණ්‍ය සම්පත් බලා හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘රුක්ඛමූලෙ නිසිනොහං’ යනාදිය කීය. එහි වැඩේනුයි නැවත වැඩේනුයි මුදුන උසට නගීනුයි රුක්ඛ නමි. එම රුකෙහි මූලෙ සමීපයෙහි යන අර්ථයි. බ්‍යාධිතො පරමෙනාහං යනු පරමෙන අධික වූ බරෙන කටුක වූ බ්‍යාධිනා රෝගයෙන් මම යුක්ත වූයෙමි යන අර්ථයි. පරම කාරුඤ්ඤ පත්තොම්හි පරමං අධික වූ කාරුඤ්ඤං කරුණාවන්ත බවට දීන බවට දුක්ඛිත බවට පැමිණියේ අරඤ්ඤෙ වනයෙහි යන සම්බන්ධයි.
පඤ්චෙවාසුං මහාසිඛා යනු හිසෙහි පළඳින අර්ථයෙන් සිඛා යයි කියනු ලැබේ. සිළුමිණක් මෙන් බබළන සිබාවක් ඔහුට ඇත්තේනුයි සිඛා නමි. එක් නමක් ඇති සක්විති රජවරු පස්දෙනෙක් ආසුං වූහ යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
84. අධෝපුප්ථීය ථේර අපදාන වර්ණනාව
අභිභූනාම සො භික්ඛු යනාදි වශයෙන් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා පසුකලෙක කාමයන්හි ආදීනව දැක එය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභීව සෘද්ධීන්හි ද නිපුණ බවට පත්ව හිමවතෙහි වෙසෙයි. ඉන්පසුව සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අභිභූ නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේ විවේකය කැමැතිව හිමවතට වැඩි සේක. ඒ තවුසා අග්‍රශ්‍රාවකයන් වහන්සේ දැක, තෙරුන් වහන්සේ සිටි පව්වට නැග, එහි යටතලයෙන් සුවඳවත් පැහැපත් මල් සතක් ගෙන පූජා කළේය. ඉක්බිති ඒ තෙරුන් වහන්සේ ඔහුට අනුමෝදනාව කළහ. ඒ තවුසා ද තමාගේ අසපුවට ගියේය. එහිදී එක් පිඹුරකු විසින් පීඩා කරන ලද්දේ නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ එම උපද්‍රවයෙන් ම බ්‍රහ්මලෝකයට පැමිණියේ විය. සදිව්‍ය ලෝකවලදී කාමාවචර සම්පත් අනුභව කොට, මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද ගෙවා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලඟෙයක ඉපදී වැඩිවිය පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු සිත් ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පසුකලක තමා කරන ලද පිනෙහි නමින් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,