79. ඨිතඤ්ජලිය ථේර අපදාන වර්ණනාව
මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයන්හි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි පෙර කරන ලද කර්ම විපාකයක් අනුව එක් වැදි යෝනියෙක ඉපිද දැනමිති බවට පත්වූයේ මුවන් ඌරන් ආදීන් මරා දඩයමින් අරණ්‍යයෙහි වාසය කළේය. එසමයෙහි තිස්ස භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. හේ දෙතිස් වර ලක්‍ෂණයන්ගෙන් අසූවක් අනූව්‍යංජනයන්ගෙන් ව්‍යාම ප්‍රභාවන්ගෙන්ද දිලිසෙන ඒ භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් සොම්නස් ඇත්තේ ප්‍රණාම කොට ගොස් කොළ ඇතිරියෙහි හිඳගත්තේය. එවේලෙහි අහස ගුගුරමින් හෙණයක් වැටුණේය. වැද්දා එයින් මියයන කල්හි බුදුන් සිහිකොට නැවත ඇඳිලි බැඳගත්තේය. හේ එම පිනින් මනා කෙතන කරන ලද කුශලයක් බැවින් අකුශල විපාකය පසුබාවා ස්වර්ගයෙහි ඉපිද කාමාවචර සම්පත් ද, මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද අනුභවකොට පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙරකළ වාසනා හේතුවෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ ඉන්පසුව පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු මිගලුද්දො පුරෙ ආසිං යනාදිය කීහ. එහි මිගලුද්දො යනු මුවන් මරනු පිණිස ළඟට යේනුයි මිගලුද්දො. මිගති වාත වේගයෙන්ම යනුයි දුවානුයි මිගලුද්ද නම් වේ. ඒ මම පෙර භාග්‍යවතුන් වහන්සේ දකින අවස්ථාවෙහි මුවවැද්දෙක් ආසිං වීමි යන අර්ථයි. අරඤ්ඤෙකානනෙ යනු අරති මුව සමූහයා මෙහි යේනුයි අරඤ්ඤ නමි. නැතහොත් හාත්පසින් රජ්ජන්ති එහි විවේක කැමති බුදු පසේබුදු ආදීහු ද මහා ඓශ්වර්යට පැමිණි සත්පුරුෂයෝ ද ඇලෙතියි අරඤ්ඤ නමි. පහත් අයුරින් හෝ භයානක අයුරින් නදන්ති ශබ්ද කරත්නුයි හෝ කානන නමි. එම අරණ්‍යයෙහි කානනයෙහි පෙර මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. තත්‍ථද්දසාහං සම්බුද්ධං යනු තත්‍ථ ඒ අරණ්‍යයෙහි සමීපයට පැමිණි සම්බුදුන් වහන්සේ අද්දසං දුටුවෙමි යන අර්ථයි. පෙර දර්ශනය නුදුරෙහි විය. ඒ නිසා මනෝද්වාර අනුසාරයෙන් චක්ඛුවිඤ්ඤාණය, පෙර හැසිරෙන කායවිඤ්ඤාණය සම තත්ත්වයට පමුණුවයි යන අර්ථයි.
තතො මෙ අසනිපාතො යනු හාත්පසින් සනන්නො ගර්ජනය කරමින් වැටේනුයි අසනි. අසනියෙහි පාතය අසනි පාතො නමි. දෙවියන්ගේ දණ්ඩ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
80. තිපදුමිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මාලාකාර කුලයක උපන්නේ වැඩිවිය පත්වූයේ මාලාකාර කර්මය කොට වාසය කරන්නේ එක් දවසක් අනේකවිධ වූ දියගොඩ මල්ගෙන රජුගේ සමීපයට යනු කැමැත්තේ මෙසේ සිතීය. රජ මේ මල් කම් දැක පැහැදී ප්‍රසාද වශයෙන් ධනය හෝ ගම් ආදියක් දෙන්නේය. ලෝකනාථයන් වහන්සේ පුදා නිර්වාණාමෘත ධනය ලබමි. මෙයින් යමක් සුන්දරනම් එයින් භාග්‍යවතුන් වහන්සේ පුදා ස්වර්ග මෝක්‍ෂ සම්පත්තීන් සාදා ගැනීමම වටනේ යයි සිතා වර්ණ ගන්ධයෙන් යුක්ත වූ අතිශයින් උත්තම වූ මල්තුනක් ගෙන පූජා කළේය. ඒවා ගොස් අහස වසා පැතිරී සිටියේය. නුවරවැසියෝ ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු දහස් ගණන් පිළි එසවීම් පැවැත්වූහ. ඒ දැක භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලද්දේ ම ය. සබ්බ ධම්මාන පාරගූ යනු සියලු නවලෝකෝත්තර ධර්මයන් පාරං නිර්වාණය ගතො ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය යන අර්ථයි. දන්තො දන්තෙහි පරිවුතො යනු තමා කායවාචාදියෙහි දමනය වූයේ. අගපත් වූයේ යයි දේශනා කරනු ලැබූ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද්දේ යන අර්ථයි. සෙස්ස අර්ථ සම්බන්ධ වශයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අටවැනි වර්ග වර්ණනාවයි.
9. තිමිර වර්‍ගය
81. තිමිරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
චන්‍දභාගානදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිමිරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා වාසය කරන්නේ ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව චන්‍දභාගා නදිය අසබඩ වාසය කරයි. විවේක කැමති බැවින් හිමවතට වැඩි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක වැඳ උන්වහන්සේගේ ගුණ සිහිකොට තිමිර මලක් පූජා කළේය. හේ ඒ පිනින් දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද සම්පත් අනුභව කරමින් සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.