80. තිපදුමිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මාලාකාර කුලයක උපන්නේ වැඩිවිය පත්වූයේ මාලාකාර කර්මය කොට වාසය කරන්නේ එක් දවසක් අනේකවිධ වූ දියගොඩ මල්ගෙන රජුගේ සමීපයට යනු කැමැත්තේ මෙසේ සිතීය. රජ මේ මල් කම් දැක පැහැදී ප්‍රසාද වශයෙන් ධනය හෝ ගම් ආදියක් දෙන්නේය. ලෝකනාථයන් වහන්සේ පුදා නිර්වාණාමෘත ධනය ලබමි. මෙයින් යමක් සුන්දරනම් එයින් භාග්‍යවතුන් වහන්සේ පුදා ස්වර්ග මෝක්‍ෂ සම්පත්තීන් සාදා ගැනීමම වටනේ යයි සිතා වර්ණ ගන්ධයෙන් යුක්ත වූ අතිශයින් උත්තම වූ මල්තුනක් ගෙන පූජා කළේය. ඒවා ගොස් අහස වසා පැතිරී සිටියේය. නුවරවැසියෝ ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු දහස් ගණන් පිළි එසවීම් පැවැත්වූහ. ඒ දැක භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලද්දේ ම ය. සබ්බ ධම්මාන පාරගූ යනු සියලු නවලෝකෝත්තර ධර්මයන් පාරං නිර්වාණය ගතො ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය යන අර්ථයි. දන්තො දන්තෙහි පරිවුතො යනු තමා කායවාචාදියෙහි දමනය වූයේ. අගපත් වූයේ යයි දේශනා කරනු ලැබූ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද්දේ යන අර්ථයි. සෙස්ස අර්ථ සම්බන්ධ වශයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අටවැනි වර්ග වර්ණනාවයි.
9. තිමිර වර්‍ගය
81. තිමිරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
චන්‍දභාගානදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිමිරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා වාසය කරන්නේ ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව චන්‍දභාගා නදිය අසබඩ වාසය කරයි. විවේක කැමති බැවින් හිමවතට වැඩි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක වැඳ උන්වහන්සේගේ ගුණ සිහිකොට තිමිර මලක් පූජා කළේය. හේ ඒ පිනින් දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද සම්පත් අනුභව කරමින් සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු චන්‍දභාගා නදීතීරෙ යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලදි. අනුසොතං වජාමහං ගඟ ආසන්නයෙහි, ගංතෙර යන අනුසාරයෙන් යට කියන ලද පරිදි වජාමි යමි. තැන තැන වසමි යන අර්ථයි. නිසින්තං සමණං දිස්වා සමනය කරන ලද පාපයන් ඇති බැවින්, දවාලන ලද පාපයන් ඇති බැවින් ශ්‍රමණ සංඛ්‍යාත වූ සම්මා සම්බුදුන් වහන්සේ දැක යන අර්ථයි.
එවං චින්තෙසහං තදා යනු මේ භාග්‍යවතුන් වහන්සේ තමන් එතරවූ සේක් සියලු සත්ත්වයන් තාරයිස්සති සංසාරයෙන් එගොඩ කරවන සේක.
තමන් කායද්වාර ආදියෙන් දමනය වූ සේ මේ භාග්‍යවතුන් වහන්සේ අනුන් දමනය කරන සේක. තමන් අස්සත්‍ථො අස්වැසුණු බවට පත්වූවාහු ක්ලේශ පරිදාහයෙන් මිදුණාහු සංසාරයෙන් මිදුණාහු අනුන් සංසාරයෙන් මුදවන සේක. ඒ මේ භාග්‍යවතුන් වහන්සේ තමන් කෙලෙස් ගින්නෙන් මිදුණාහු අනුන්ද කෙලෙස් ගින්නෙන් නිවාලන සේක. මෙසේ මම එදා සිතුවෙමි යන අර්ථයි.
ගහෙත්‍වා තිමිරං පුප්ඵං යනු සියලු වනාන්තරය නිල්වන් රශ්මීන්ගෙන් අන්ධකාරයක් මෙන් කරමින් ගෙවයිනුයි තිමිරපුප්ඵං. ඒ තිමිර පුෂ්පයි කර්ණිකාවෙන් තංගහෙත්‍වා අල්ලාගෙන මත්‍ථකෙ හිසට උඩින් අහසෙහි ඔකිරිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
තිමිර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
82. ගතසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරමින් තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, පෙර කරන ලද වාසනා වශයෙන් හටගත් සැදැහැ ඇත්තේ සත්හැවිරිදි වියෙහි ම පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රණාමකරණයෙන්ම ප්‍රකට විය. හේ එක් දවසක් අතිශයින් නිල්වන් මැණිකක පැහැය ඇති නගුලින් සීසෑ අංගනයෙහි නැගුණු මල්සතක් ගෙන අහසෙහි පිදුවේය. හේ දිවි ඇතිතෙක් මහණදම් කොට ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නම් බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී නොබෝ කලෙකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘ජාතියා සත්තවස්සොහං’ යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්තැන් පටන් පිරිපුන් සත්වස් වූයේ යන අර්ථයි. පබ්බජිං අනගාරියං යනු අගාරයට හිතවූයේ අගාරියං. කෘෂි වණික් කර්ම. අගාරිය නැත්තේ අනාගරිය නමි. බුදුසසුනෙහි මම පැවිදි වූයෙමි යන අර්ථයි.