62. අවොපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
විහාරා අභිනික්ඛම්ම යනාදි වශයෙන් ආයුෂ්මත් අවොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ දහම් අසා සොම්නසට පැමිණියේ නොයෙක් මල් දෑතින් ගෙන බුදුරජාණන් වහන්සේ මතින් විසුරුවා හැරියේය. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ස්වර්ග සම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තියද අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව සසුනෙහි පැහැද පැවිදි වූයේ නොබෝ දිනකින්ම රහත් විය. ආ හාත්පසින් කාසනි බබුළුවානුයි ආකාස නමි. ඒ ආකාසයෙහි මල් විසුරුවා හැරියේය. එයින් අවොපුප්ඵිය තෙරුන් වහන්සේ යනුවෙන් ප්‍රකට වූයේ,
මෙසේ පැමිණි ශාන්ති පද ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ විහාරා අභිනික්ඛම්ම යනාදිය කීය. එහි විහාරො යනු විශේෂයෙන් හරති සිව් ඉරියව්වෙන් නොතැවෙන ආත්මභාවය ආහරති මෙහි පවත්වා ගනීනුයි විහාර නමි. විශ්වාසයෙන් නික්ඛම්ම නික්මී අබ්භුට්ඨා සිංච චඞ්කමෙ සක්මන් කරනු පිණිස සැටරියන් සක්මනෙහි විශ්වාසයෙන් යුතුව උපට්ඨාසිං නැගුණෙමි යන අර්ථයි. චතුසච්චං පකාසෙන්තො යනු එම සක්මනෙහි සක්මන් කරන්නේ දුක්ඛ සමුදය නිරොධ මග්ග සංඛ්‍යාත වූ චතුස්සත්‍යය පකාසෙන්තො ප්‍රකට කරන්නේ අමතංපදං නිර්වාණය දෙසෙන්තො විභජනය කරන්නේ පැහැදිලි කරන්නේ එම සක්මනෙහි යනු සම්බන්ධයි.
සිඛිස්ස ගිරමඤ්ඤාය බුද්ධසෙට්ඨස්ස තාදිනො යනු ශ්‍රේෂ්ඨ වූ තාදිගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගිරං ශබ්දය ඝෝෂාව. අඤ්ඤාය දැන. නානාපුප්ඵං ගහෙත්‍වා යනු නා පුවක් ආදී නොයෙක් මල් ගහෙත්‍වා ගෙනැවිත්. ආකාසම්හි සමොකිරිං යනු සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ මුදුනෙහි අහසෙහි ඔකිරිං පිදුවෙමි.
තෙන කම්මෙන දිපදින්‍දා යනු මිනිසුන්ට දෙවි මිනිසුන්ට ඉන්දු! ප්‍රධාන වූ තැනැත්ත! නරාසභ! නරයන්ට ප්‍රධාන වූ තැනැත්ත! පත්තොම්හි අචලංඨානං යනු ඔබගේ සමීපයෙහි පැවිදිව අචලට්ඨානං නිවනට පැමිණියේ අම්හි වෙමි. හිත්‍වාජයපරාජයං යනු දිව්‍ය මනුෂ්‍ය සම්පත්ති සංඛ්‍යාත වූ ජයද, සතර අපාය දුක් සංඛ්‍යාත වූ පරාජයද හිත්‍වා හැරදමා නිවනට පැමිණියේ වෙමි යන අර්ථයි.
අවොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
63. පච්චාගමනිය ථේර අපදාන වර්ණනාව
සින්‍ධුයා නදියාතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පච්චාගමනීය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සින්ධු ගංගාව සමීපයෙහි සක්වා යෝනියෙහි ඉපිද පෙර කළ පින් ඇති බැවින් පණ ඇති සතුන් නොකා සෙවෙල්ම කමින් හැසිරෙයි. එසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ට අනුග්‍රහ කරන්නේ එහි වැඩි සේක. එකෙණෙහි සක්වාලිහිණියා බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇතිව තුඩින් සල් රුකකි සල්මලක් කඩාගෙන අවුත් පූජා කළේය. ඌ එම සිත් පැහැදීමෙන් ම එයින් මියගොස් දෙව්ලොව උපන්නේ නැවත නැවත සය කාමාවචර සම්පත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව ඉපිද චක්‍රවර්තී සම්පත් ආදිය අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයෙක උපන්නේය. එහි දැනමිති බවට පැමිණි හෙතෙම පෙර සිරිත් වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත්විය. සක්වාලිහිණියකුව භාග්‍යවතුන් වහන්සේ දැක කිසියම් තැනකට ගොස් මලක් ගෙනවුත් පිදූ බැවින් පිනෙහි නමින් පච්චාගමනීය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේය.
හේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සින්‍ධුයා නදියා තීරෙ යනාදිය කීහ. සන්සුන් ශබ්ද කරමින් ධුනාති සැලේනුයි සින්ධු. නදති ශබ්ද කරමින් යතියි නදී. චක්කවාකො අහං තදා යනු රියසකක් වේගයෙන් යන්නාක් මෙන් දියෙහි හෝ ගොඩබිම හෝ අහසෙහි හෝ වේගයෙන් වාති යනුයි චක්කවාකො; එකල්හි විපස්සි බුදුරජාණන් වහන්සේ දක්නාවිට මම සක්වාලිහිණියෙක් වීමි යන අර්ථයි සුද්ධසෙවාල භක්ඛොහං යනු වෙනත් ගොදුරකින් නොමුසු බැවින් පිරිසිදු සෙවෙල්ම කන්නේ මම වසමි. පාපෙසු ච සුසඤ්ඤතො යනු පූර්ව වාසනා වශයෙන් පව් කිරීමෙහි මනා සංයමයකින් තුන්දොරින් සඤ්ඤතො මැනවින් හික්මුණෙ,
අද්දසං විරජං බුද්ධං යනු රාග දෝසයන්ගෙන් විරහිත බැවින් විරජ වූ නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේ අද්දසං දුටුවෙමි. ගච්ඡන්තං අනිලඤ්ජසෙ යනු අනිලඅඤ්ජසෙ අහස් මගෙහි වඩින්නා වූ බුදුරජාණන් වහන්සේට තුණ්ඩෙන මාගේ තුඩින් සාලං සල්මලක්. පග්ගය්හ ගෙන, විපස්සිස්සාහිරොපයිං විපස්සි බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි යන අර්ථයි.