70. පුප්ඵචඞ්ගොටිය ථේර අපදාන වර්ණනාව
අභීතරූපං සීහංවා යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵචංගොටිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වැඩිවියට පත් ඔහු මහා ධනසම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැහැදුණු අයුරු පෙන්වන්නේ, රන්වන් කටුකරඬු මල් බහා වට්ටියක් පුරවා භාග්යවතුන් වහන්සේට පූජාකොට, මේ විපාකයෙන් උපනුපන් තැන රන්වන්ව පිදිය යුත්තේව නිවනට පැමිණෙන්නෙමි යි ප්රාර්ථනාවක් කළේය. හේ ඒ පිනෙන් දෙවි මිනිසුන් අතර උපන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ රන්වන්ව සුරූපී විය. හේ මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු අභීතරූපං සීහංව යනාදිය කීහ. එහි සීහං යනු දෙපා සිව්පා ආදී සත්ත්වයන් අභිභවනය කෙරේනුයි, යටපත් කෙරේනුයි සීහො. අභීතරූපො අභීත ස්වභාව ඇත්තේ, ඒ අභීත ස්වරූප ඇති සිංහයකු මෙන් වැඩහුන් බුදුරජාණන් වහන්සේ පිදුවෙමි යන සම්බන්ධයි. පක්ෂීන්ට අග්ර වූ කුරුලු රජකු මෙන් උතුම් වූ කේසර සිංහයකු මෙන් තුන්ලොවට සරණ වූ සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කවරෙක් වීද? අනෙජං නිකෙලෙස්. ස්කන්ධ මාරාදීන් විසින් අපරාජිතව වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. සමණානග්ගං යනු සියලු කෙලෙසුන් නැසීමෙහි දැවීමෙහි අග්ර වූ, පසේබුදු බුදුසව්වන්ට අග්ර වූ යනු සම්බන්ධයි. භික්ෂු සංඝයා පෙරටුකොට පරිවාරිතං පිරිවරා වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යන සම්බන්ධයි.
චඞ්ගොටකෙ ගහෙත්වාන යනු උතුම් වූ කටුකරඬුමළු කරඬුවක පුරවා ශ්රේෂ්ඨ වූ සිඛී සම්බුදු රජාණන් වහන්සේට සිමොකිරිං පූජාකෙළෙමි යන අර්ථයි.
පුප්ඵචංගොටිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සත්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
8. නාගසමාල වර්ගය
71. නාගසමාල ථේර අපදාන වර්ණනාව
අපාටලිං අහං පුප්ඵං යනාදි වශයෙන් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වයසින් දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සුදුසු සත්පුරුෂ ආශ්රයක් නැති බැවින් ශාස්තෲන් වහන්සේ ජීවත්වන කාලයෙහි දැකීම් ඇසීම් පිදීම් නොකොට, පිරිනිවන්පෑ කල්හි ඒ භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු චෛත්යය කෙරෙහි සිත් පහදවා, පළොල්මලක් පූජාකොට සොම්නස් උපදවා දිවි ඇති තාක් සිට එම සොම්නසින්ම එයින් චුතව තුසිත පුරයෙහි දෙදෙව්ලොව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේය. නා ගස්වල දලු හා සමාන කෝමල වූද රත්පැහැ වූ ද සමාන ශරීරයක් ඇති බැවින් නාගසමාල යයි මාපියන් විසින් තබන ලද නම් ඇත්තේ භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුව පූර්ව කර්මය සිහිකොට ‘අපාටලිං අහං පුප්ඵං’ යනාදිය කීහ. එහි අපාටලිං යනු හාත්පසින් හෝ ආදරයෙන් හෝ පළොල්මලක් ගෙන මම ස්තූපයෙහි අභිරොපෙසිං පිදුවෙමි යන අර්ථයි. උජ්ඣිතං සුමහාපථෙ යනු සියලු නගරවාසීහු සඳුන් පුදනු පිණිස මහාපථෙ නුවර මැද වීථියෙහි උජ්ඣිතං ගොඩනැගූ උළුකම් සුණුකම් ආදියෙන් නිෂ්පාදනය කරන ලද යන අර්ථයි. සෙස්ස යට කියන ලද පරිදි පහසුවෙන් දත හැක්කේමය.
නාගසමාල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
72. පදසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
අක්කන්තඤ්ච පදංදිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් ශ්රද්ධා සම්පන්න වූ උපාසක ගෘහයක ඉපිද දැනමිති බවට පත්ව තෙරුවන්හි පැහැදුණේ, භාග්යවතුන් වහන්සේ විසින් ඔහුට අනුකම්පාවෙන් දක්වන ලද පද සලකුණ දැක රෝමෝද්ගමන ඇත්තේ සඳුන් පූජා ආදි බුහුමන් කළේය. හේ මනා වූ කෙතක මනාසේ කරන ලද එම පිනින් එයින් චුත වැ ස්වර්ගයෙහි ඉපිද එහි දිවසැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පෙර කරන ලද පිනෙහි නමින් පදසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ,