53. ශයනදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරබුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සැප අනුභව කරමින් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඇත්දත් රන්රිදී මුතුමැණික් මුවා මාහැඟි ඇඳක් කරවා චීනපට කම්බිලි ආදිය අතුරා සැතපෙනු පිණිස භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරන්නාහු එහි සැතපුණු සේක. ඔහු එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ඊට අනුරූප වූ අහස් ගමන් සැප සයන ආදී සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණි ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් වූ සිතැත්තේ පැවිදිව විදර්ශනා වඩන්නේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය යට කී අර්ථ ඇත්තේ ම ය.
සුඛෙත්තෙ බීජ සම්පදා යනු යම්සේ තණ කැලිකසල නැති මඩ ආදිය යුතු මනා වූ කෙතෙහි වපුළ බිජුවට යහපත් පල නිපදවයිද, එසේම රාග දෝස ආදී එක්දහස් පන්සියයක් වූ කෙලෙස් නම් වූ තණ කැලිකසල රහිත සුද්ධ වූ සන්තානයෙහි, පින්කෙතෙහි වපුළ දන් අල්ප වුව ද මහත්ඵල වන්නේයයි අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
සයනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
54. ගන්‍ධොදකිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර මුනිවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි නුවරවැසියන් පූජා පවත්වනු දැක විසිතුරු කරන ලද කළයක් සඳුන් කපුරු අගිල් ආදියෙන් මිශ්‍ර සුවඳ ජලයෙන් පුරවා බෝරුක නැහැවීය. එකෙණෙහි මහවැසි වැස්සේය. එදා ඔහු හෙණ පහරින් කලුරිය කළේ එයින්ම දෙව්ලොව උපන්නේ ය. එහිම සිට ‘අහො බුද්ධො අහො ධම්මො’ යනාදි ගාථා කීයේය. මෙසේ ඔහු දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කොට සියලු උපද්‍රව්‍යයන්ගෙන් මිදුණේ උපනුපන් තැන සිහිල්බවට පැමිණියේ සැපවත් වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ කමටහන් අරඹා විදසුන් වඩන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය. පෙර කරන ලද පිනෙහි නමින් ගන්‍ධොදකීය තෙරුන් වහන්සේයයි ප්‍රකට වීය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු ඒ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස ආදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. මහාබෝධි මහෝ අහු යනු මහබෝරුකට පූජාවක් විය යන අර්ථයි. විචිත්තං ඝටමාදාය යනු නොයෙක් සිත්තම් රන්කම් වලින් විචිත්තං සෝභමාන වූ සුවඳපැනින් පිරුණු කළය ගෙන යන අර්ථයි. ගන්‍ධොදකමදාසහං යනු සුවඳපැන් දුන්නෙමි. මම සුවඳපැනින් නැහැවූයෙමි යන අර්ථයි.
නහාය කාලෙව බෝධියා බෝධීන් වහන්සේට පූජාකරන අවස්ථාවෙහිම යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
55. ඕපවය්හ ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ඔපවුය්හ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයා ලොව පහළවූ කල්හි එක් ධනසම්පත් ඇති කුලයක උපන්නේ දැනමිති බවට පත් ව මහාධන ඇත්තේ මහභෝග සම්පත් ඇත්තේ ගිහිගෙයි වසමින් සසුනෙහි පැහැදුණේ ශාස්තෲන් කෙරෙහි පහන් බුහුමන් ඇත්තේ ආජානීය සෛන්ධව අශ්වයකු පූජා කළේය. එසේ පුදා බුද්ධාදී ශ්‍රමණයන්ට ඇත් අසුන් ආදී දේ නො කැපය. කැප බඩුවක් දෙමියි සිතා එය මිලකරවා එම අගය ඇති කහවණුවලින් කපු පිළි සිවුරු ද, කම්බිලි හා පළස් ද, කපුරු, කපුකිනිස්ස ආදීකොට ඇති බෙහෙත් පිරිකර ද දුන්නේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ දෙවියන් අතර ද මිනිසුන් අතරද ඇත් අස් ආදී නොයෙක් වාහනයන් ඇතිව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ, දැනමිති බවට පත්වූයේ, සැදැහැ ඇත්තේ, සසුනෙහි පැවිදිව කමටහන් ගෙන විදසුන් වඩා මාර්ග පිළිවෙලින් රහත් බවෙහි පිහිටියේය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර වශයෙන් ඔපවුය්හ තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.