547. අභය ථේර අපදාන වර්ණනාව
සත්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව වේදයෙහි පරතෙරට ගියේ සකසමය පරසමයෙහි දක්‍ෂ වූයේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ ගාථාවන්ගෙන් ස්තුති කළේය. හේ එහි දිවි ඇතිතෙක් සිට පින්කොට එයින් චුතවූයේ දෙව්ලොව උපන්නේය. ඉන්පසු කලින්කල සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුත්‍රයාව උපන්නේය. ඔහුට අභයයැයි නමක් තැබූහ. හේ වැඩිවිය පත්වූයේ නිගණ්ඨයන් සමග විශ්වාසවන්ත වී හැසිරෙන්නේ එක් දවසක් නිගණ්ඨනාථ පුත්‍රයා විසින් ශාස්තෲන් වහන්සේට වාදාරෝපණය කිරීම සඳහා යවන ලද්දේ නිපුණ ප්‍රශ්නය අසා, නිපුණ ව්‍යාකරණය අසා පැහැදුණේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිව කර්මස්ථාන අනුරූපව ඥානය මෙහෙයවා නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේය.
උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාම ජිනො යනාදිය කීහ. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේමය.
අභය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
548. ලෝමසකඞ්ගිය ථේර අපදාන වර්ණනාව
අටවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද ශ්‍රද්ධා ඇත්තේ පැහැදුණේ විය. තවත් ඔහුගේ චලන නම් යහළුවෙක්ද විය. ඒ දෙදෙනම ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසා පැවිදිව දිවි ඇතිතාක් සිල් රැක අතිපරිශුද්ධ සිල් ඇත්තාහු එයින් චුතවූවාහු දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් දිවසැප අනුභව කළහ. ඔවුන්ගෙන් මොහු මේ බුද්ධෝත්පාද කාලයෙහි ශාක්‍ය කුලගෙයක උපන්නේය. ඉක්බිති ඔහු ශාක්‍යකුල ප්‍රසාදක කාළුදායී විසින් ආරාධිත වූයේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශාක්‍ය රජුන්ගේ මානය මර්දනය සඳහා පවත්වන ලද වෙස්සන්තර ධර්ම දේශනාවෙන් ඇති වූ පොකුරුවැසි සෘද්ධි ප්‍රාතිහාර්ය දැක පහන් සිතැත්තේ පැවිදිව මජ්ඣිම නිකායෙහි ආ භද්දෙකරත්ත සූත්‍ර දේශනාව අසා අරණ්‍යවාසයෙහි වෙසෙන්නේ ඒ දේශනා අනුශාසනාව සිහිකොට ඒ අනුසාරයෙන් ඥානය මෙහෙයවා රහත්බවට පත්විය.
රහත් බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘ඉමම්හි භද්දකෙ කප්පෙ’ යනාදිය කීය. එහි කල්පය නම් සිව්වැදෑරුම්ය. සාරකල්පය, වර කල්පය, මණ්ඩක කල්පය, භද්‍රකල්පය යනුවෙන්. ඒ අතරින් යම් කල්පයෙක එක් බුදුකෙනෙක් උපදීද මෙය සාරකල්ප නමි. යමෙක බුදුවරුන් දෙනමක් හෝ තෙනමක් උපදිද්ද මෙය වරකල්ප නමි. යමෙක බුදුවරුන් සිව්නමක් උපදිද්ද මෙය මණ්ඩක කල්ප නමි. යමෙක බුදුවරුන් පස්නමක් උපදිද්ද මෙය භද්‍රකල්ප නමි.
සාර කල්පය, මණ්ඩ කල්පය, සාරමණ්ඩ කල්පය, වර කල්පය, භද්‍ර කල්පයයි කල්ප පස්වැදෑරුම් කොට ඇතැම්හු බෙදූහ.
විනායක බුදුවරු එක්නමක් දෙනමක් තුන්නමක් සිව්නමක් පස්නමක් පිළිවෙලින් මේ කල්ප පසෙහි උපදිත්.
මෙසේ කල්ප පසක් කියන ලදි. ඒ අතර මේ කල්පය කකුසඳ, කෝනාගමන, කස්සප, ගෞතම, මෙත්තෙය්‍ය යන බුදුවරුන් පස්නමගෙන් ප්‍රතිමණ්ඩිත බැවින් භද්‍රකල්ප නම් විය.