548. ලෝමසකඞ්ගිය ථේර අපදාන වර්ණනාව
අටවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ කස්සප භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද ශ්රද්ධා ඇත්තේ පැහැදුණේ විය. තවත් ඔහුගේ චලන නම් යහළුවෙක්ද විය. ඒ දෙදෙනම ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසා පැවිදිව දිවි ඇතිතාක් සිල් රැක අතිපරිශුද්ධ සිල් ඇත්තාහු එයින් චුතවූවාහු දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් දිවසැප අනුභව කළහ. ඔවුන්ගෙන් මොහු මේ බුද්ධෝත්පාද කාලයෙහි ශාක්ය කුලගෙයක උපන්නේය. ඉක්බිති ඔහු ශාක්යකුල ප්රසාදක කාළුදායී විසින් ආරාධිත වූයේ භාග්යවතුන් වහන්සේ විසින් ශාක්ය රජුන්ගේ මානය මර්දනය සඳහා පවත්වන ලද වෙස්සන්තර ධර්ම දේශනාවෙන් ඇති වූ පොකුරුවැසි සෘද්ධි ප්රාතිහාර්ය දැක පහන් සිතැත්තේ පැවිදිව මජ්ඣිම නිකායෙහි ආ භද්දෙකරත්ත සූත්ර දේශනාව අසා අරණ්යවාසයෙහි වෙසෙන්නේ ඒ දේශනා අනුශාසනාව සිහිකොට ඒ අනුසාරයෙන් ඥානය මෙහෙයවා රහත්බවට පත්විය.
රහත් බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘ඉමම්හි භද්දකෙ කප්පෙ’ යනාදිය කීය. එහි කල්පය නම් සිව්වැදෑරුම්ය. සාරකල්පය, වර කල්පය, මණ්ඩක කල්පය, භද්රකල්පය යනුවෙන්. ඒ අතරින් යම් කල්පයෙක එක් බුදුකෙනෙක් උපදීද මෙය සාරකල්ප නමි. යමෙක බුදුවරුන් දෙනමක් හෝ තෙනමක් උපදිද්ද මෙය වරකල්ප නමි. යමෙක බුදුවරුන් සිව්නමක් උපදිද්ද මෙය මණ්ඩක කල්ප නමි. යමෙක බුදුවරුන් පස්නමක් උපදිද්ද මෙය භද්රකල්ප නමි.
සාර කල්පය, මණ්ඩ කල්පය, සාරමණ්ඩ කල්පය, වර කල්පය, භද්ර කල්පයයි කල්ප පස්වැදෑරුම් කොට ඇතැම්හු බෙදූහ.
විනායක බුදුවරු එක්නමක් දෙනමක් තුන්නමක් සිව්නමක් පස්නමක් පිළිවෙලින් මේ කල්ප පසෙහි උපදිත්.
මෙසේ කල්ප පසක් කියන ලදි. ඒ අතර මේ කල්පය කකුසඳ, කෝනාගමන, කස්සප, ගෞතම, මෙත්තෙය්ය යන බුදුවරුන් පස්නමගෙන් ප්රතිමණ්ඩිත බැවින් භද්රකල්ප නම් විය.
ඒ නිසා ඉමස්මිං භද්ද කප්පම්හි කස්සපො නාම නායකො උපපජ්ජති යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
ලොමසකඞ්ගිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
549. වනවච්ඡ ථේර අපදාන වර්ණනාව
නවවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් වනවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ කස්සප භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා සැදැහැ ඇත්තේ පැවිදිව පිරිසිදු බඹසර හැසිර ඉන් චුත වූයේ දෙව්ලොව උපන්නේය. එයින් චුතවූයේ අරණ්යායතනයෙහි භික්ෂූන් සමීපයෙහි පරෙවි යෝනියෙහි උපන්නේ ඔවුන් කෙරෙහි මෙත්සිතින් දහම් අසා එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තු පුරයෙහි බමුණු කුලයෙක උපන්නේය. ඔහු මව්කුසට ගියකල්හිම මවට දොළදුක් උපන්නේය. වනයෙහි වසන්ටත් වනයෙහි වදන්ටත්, ඉන්පසු සෘද්ධි අනුරූපව වනයෙහි වසන්නියට දරු ප්රසූතිය සිදුවිය. ගර්භයෙන් නික්මුණු ඔහු සිවුරු කඩකින් පිළිගත්හ. බෝධිසත්ත්වයන් උපන් කාලයයි. රජ තෙමේ ඒ කුමාරයා ගෙන්වා පුත්රයා සමගම පෝෂණය කළේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ මහාභිනිෂ්ක්රමණයෙන් නික්ම පැවිදිව සයවසක් දුෂ්කරක්රියා කොට බුදුවූහ. හේ මහා කස්සප හිමියන් වෙත ගොස් උන්වහන්සේගේ අවවාදයෙහි පහන් වූයේ උන්වහන්සේ හමුවෙන් බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා පැවිදිව නොබෝ කලකින්ම ෂඩ්අභිඥා සහිතව රහත් විය.
උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදිය කීහ. එහි බ්රහ්මබන්ධු මහයසො යනු මෙහි බමුණන්ට බන්ධු ඥාතියෙක් වේ. බ්රාහ්මණ බන්ධු යයි කියයුතු තන්හි ගාථා බන්ධන පහසුව පිණිස බ්රහ්ම බන්ධු යයි කියන ලදැයි දතයුතුය. සෙස්ස සියල්ල පහසුවෙන් දතහැක්කේමය.
වනවච්ඡ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
550. චූළසුගන්ධ ථේර අපදාන වර්ණනාව
දසවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුගන්ධ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස විභව සම්පත් ඇති කුලයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා සැමකල්හි නමස්කාර කරමින් දන් දෙමින් මසකට සත්වරක් භාග්යවතුන් වහන්සේගේ ගඳකිළිය සතර වර්ගයක සුවඳින් ආලේප කළේය. මාගේ උපනුපන් තැන ශරීරයෙන් සුගන්ධය උපදීවායි ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ එය ප්රකාශ කළ සේක. හේ දිවි ඇතිතාක් සිට පින්කොට එයින් දෙව්ලොව උපන්නේ කාමාවචර දිව්ය ලෝකය ශරීර සුගන්ධයෙන් සුවඳවත් කරමින් සුගන්ධ දිව්යපුත්රයා යයි ප්රකට විය. හේ දිව්යලෝක සම්පත් අනුභව කොට එයින් චුතවූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි මහාභෝග ඇති කුලයක උපන්නේ ය. ඔහු මව්කුසට ගියකල්හි මවගේ සිරුරු සුවඳින් මුළුගෙයද මුළු නගරයද සුවඳින් පිරී ගියේය. උපන් කෙණෙහි මුළු සැවැත්නුවරම සුවඳ කරඬුවක් මෙන් විය. ඒ නිසා ඔහුට සුගන්ධයයි නමක් තැබූහ. හේ වැඩිවියට ගියේය. එකල්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරට පැමිණ දෙව්රම් මහවෙහෙර පිළිගත් සේක. ඒ දැක පහන් සිත් ඇත්තේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම පිළිසිඹියා සහිතව රහත් බවට පත්විය. ඔහු උපන් දිනයෙහි පටන් පිරිනිවන් පානා තෙක් මෙදෑතුර නිපන් තැන් ආදියෙහි සුවඳම හැමීය. දෙවියෝද දිවසුණු, දිවසුවඳ, දිවමල් විසුරුවති.