544. වඞ්ගීස ථේර අපදාන වර්ණනාව
සිව්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො ආදි වශයෙන් ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහාභෝග ඇති කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ දහම් ඇසීමට යන නුවරවැස්සන් සමග විහාරයට ගොස් දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක ශාස්තෲන් වහන්සේට උවටැන් කොට ‘මම ද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තවුන් අතර අග්‍ර වෙම්වයි ප්‍රාර්ථනාවක් කොට, ශාස්තෲන් වහන්සේ විසින් ඒ බව ප්‍රකාශ කරන ලද්දේ දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙහි ඉපිද මව පරිබ්රාජිකාවක බැවින් පසුකලෙක පරිබ්‍රාජකයෙක් යැයි ප්රකටව වංගීස යයි ලද නම් ඇතිව වේදත්‍රය උගෙන ඉන්පසුව ගුරුවරයා සතුටුකොට මළමිනී හිස දන්නා මන්ත්‍රයක් උගෙන මිනී හිස් නියෙන් ගටා ‘මේ සත්ත්වයා අසුවල් යෝනියෙහි උපන්නේ යයි දනියි.
බමුණෝ මොහු අපගේ ජීවිකාවට මාර්ගයෙකැයි වංගීස රැගෙන ගම්නියම්ගම් රජදනව්වල හැසිරුණාහුය. වංගීස වසර තුන්සියයකට පෙර මළවුන්ගේද හිස ගෙන්වාගෙන නියෙන් සූරා මේ සත්ත්වයා අසුවල් යෝනියෙහි උපන්නේ යයි කියා මහජනයාගේ සැක නැතිකරනු පිණිස ඒ ඒ මිනිසුන් ගෙන්වා තම තමා උපන් තැන කියවයි. එයින් ඔහු කෙරෙහි මහජනයා අතිශයින් පැහැදුණෝය. හේ ඒ නිසා මහජනයාගේ අතින් සියයක් දහසක් පවා ලබයි. බමුණෝ වංගීස රැගෙන හැසිරුණාහුය. වංගීස ශාස්තෲන් වහන්සේගේ ගුණ අසා ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තේ විය. බමුණෝ ශ්‍රමණ ගෞතම තෙමේ මායාවෙන් ඔහු හරවා ගන්නේයයි ප්‍රතික්ෂේප කළහ.
වංගීස ඔවුන්ගේ වචනය නො අදහා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෲන් වහන්සේ ඔහුගෙන් මෙසේ ඇසීය. ‘වංගීස, කිසියම් ශිල්පයක් දන්නෙහිද?’ ‘එසේය භවත් ගෞතමය, ඡවසීස නමැති මන්ත්‍රයක් දනිමි. එයින් වසර තුන්සියයකට පෙර මළවුන්ගේ වුව ද හිස නියෙන් සූරා උපන්තැන දනිමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට නරකයෙහි උපන්නකුගේ හිසක්ද, මිනිසුන් අතර උපන්නකුගේ හිසක්ද දෙවියන් අතර උපන්නකුගේ හිසක්ද පිරිනිවන්පෑ අයකුගේ හිසක්ද ගෙන්වා දුන්නේ ය. හේ පළමුවැනි හිස සූරා, ‘භවත් ගෞතමය, මේ සත්ත්වයා නරකයෙහි උපන්නේ යයි කීය. ‘මැනවි වංගීස! තා විසින් මැනවින් දක්නා ලදි. මේ සත්ත්වයා කොහි උපන්නේදැ’යි ඇසූ සේක. ‘මිනිස් ලොවෙහිය.’ ‘මොහු කොහිද?’ ‘දෙව්ලොව’ තිදෙනගේම උපන් තැන් කීය. පිරිනිවි අයගේ හිස නියෙන් සූරන්නේ අන්තයක් හෝ කෙළවරක් නො දකී. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ‘නොහැකිද වංගීස?’යි ඇසූ සේක. ‘බලනු මැන භවත් ගෞතමයෙනි, තවත් විමසා බලමියි නැවත නැවත පෙරලා බාහිර මන්ත්‍රයකින් ආශ්රවක්ෂය කළ කෙනකුගේ හිස දැනගන්ට නොහැකිය. ඉක්බිති ඔහුගේ හිසින් දහදිය පිටවීය. හේ ලජ්ජාවට පත්ව නිහඬවිය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට ‘වෙහෙසද වංගීසැ’යි ඇසූ සේක. ‘එසේය භවත් ගෞතමයෙනි, මොහු උපන් තැන දැනගන්ට නොහැකියි. යම්හෙයකින් ඔබ දන්නේ නම් කියන්නැ’යි. ‘වංගීස මම මෙයත් දනිමි. මීට ඉහළිනුත් දනිමි’යි කියා:
චුතිං යො වෙදි සත්තානං - උප්පත්තිංච සබ්බසො,
අසන්තං සුගතං බුද්ධං - තමහං බ්රෑමි බ්රාහ්මණං
අසන්තං සුගතං බුද්ධං - තමහං බ්රෑමි බ්රාහ්මණං
සතුන්ගේ මරණය උපත - සැම අයුරකින් දන්නා,
නිබය සුගත් ඒ බුදුවර - බමුණෙකැයි මම කියනෙමි
නිබය සුගත් ඒ බුදුවර - බමුණෙකැයි මම කියනෙමි
යස්ස ගතිං නජානාතකි දෙවා ගන්ධබ්බ මානුසා,
ඛීණාසවං අරහන්තං - තමහං බ්රෑමි බ්රාහ්මණංති
ඛීණාසවං අරහන්තං - තමහං බ්රෑමි බ්රාහ්මණංති
යමකු ගිය තැන නොදනිත්ද - දෙවිහු ගදඹහු මිනිස්සු,
ඒ නිකෙලෙස් රහත්හු - බමුණෙකැයි මම කියනෙමි
ඒ නිකෙලෙස් රහත්හු - බමුණෙකැයි මම කියනෙමි
මේ ගාථා දෙක වදාළ සේක. හේ ‘එසේනම් භවත් ගෞතමය ඒ විද්‍යාව මට දෙනු මැනවැයි බුහුමන් කියා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි හුන්නේ ය. ශාස්තෲන් වහන්සේ ‘අප හා සමලිංග ඇත්තකුට දෙමි’යි කී සේක. වංගීස තෙමේ යම් කිසිවක් කියා මා විසින් මේ මන්ත්‍රය ගන්ට වටීයයි බමුණන් කරා ගොස් මෙසේ කීය. ‘මා පැවිදි වනවිට ඔබලා අමුත්තක් නොසිතන්න. මම මන්ත්‍රය ඉගෙන සියලු දඹදිව ජ්‍යෙෂ්ඨයා වන්නෙමි. ඔබලාටත් එයින් යහපතක් ම වන්නේය. හේ මන්ත්‍රය පිණිස ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ පැවිද්ද ඉල්ලීය. ඒ අවස්ථාවේ නිග්‍රොධකප්ප තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටියාහු වෙති. ‘නිග්රොධ කප්ප මොහු පැවිදි කරව’යි භාග්‍යවතුන් වහන්සේ අණ කළ සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අණින් ඔහු පැවිදි කරවා මන්ත්‍ර පරිවාසය ඉගෙන ගනුවයි ද්වත්තිංසාකාර කර්මස්ථානය, විදර්ශනා කර්මස්ථානයද කියා දුන්හ. හේ ද්වත්තිංසාකාර කර්මස්ථානය සජ්ඣායනය කරන්නේ විදර්ශනා කර්මස්ථානය එළඹවා ගත්තේය. බමුණෝ ඔහු වෙත එළඹ පින්වත් වංගීස ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි ශිල්ප ඉගෙන ගන්නහුදැයි ඇසූය. ‘එසේය උගෙන ගන්නා ලදි.’ ‘එසේනම් එන්න යන්නෙමු’. ‘තෙපි යවු. ඔබලාගෙන් මට කළයුත්තක් නැත. බමුණෝ ‘ඔහුනම් දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ වසඟයට පැමිණියේ මායාවෙන් වෙළුණේ වෙයි. තා සමීපයෙහි අපි කුමක් කරන්නෙමුදැයි ආ මගින්ම ගියහ. වංගීස විදර්ශනා වඩා රහත්බව සාක්ෂාත් කළේය.
මෙසේ තෙරණුවෝ රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කීහ. ගැඹුරු අර්ථ පමණක් වර්ණනා කරන්නෙමි.
පභාහි අනුරඤ්ජන්තො යනු ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නීල පීත ආදී ඡබ්බණ්ණ පභාහි සවණක් රැසින් අනුරඤ්ජන්තො දිලෙන්නේ බැබලෙන්නේ ජෝතිමත් වන්නේ යන අර්ථයි. වෙනෙය්‍ය පදුමානිසො යනු පදුමුත්තර නම් සූර්යයා තමාගේ වචන සංඛ්‍යාත සිරුරු රැසින් හික්මවිය යුතු ජනසංඛ්යාත පද්මයන් විශේෂයෙන් අවබෝධ කරවන්නේ, අර්හත් මාර්ග අධිගමයෙන් පිපුණවුන් කරයි යන අර්ථයි.