541. ලකුණ්ටකභද්දිය ථේර අපදාන වර්ණනාව
පනස් පස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහාභෝග ඇති කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසමින් සිටින්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක මධුරස්වර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක මොහුද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ බුදුපාමොක් භික්‍ෂු සංඝයාට ගිතෙල් සකුරු ආදී මිහිරි රසයෙන් සම්මිශ්‍ර වූ මහදන් දී ‘ස්වාමීනි, මම ද අනාගතයෙහි මේ භික්‍ෂුව මෙන් එක් බුදුවරයකුගේ සසුනෙහි මධුරස්වර ඇත්තවුන් අතර අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ එයට අන්තරායක් නැති බව දැක ප්‍රකාශකොට වැඩි සේක.
හේ දිවි ඇති තාක් පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ චිත්‍ර කෝකිලයෙක් ව ඉපිද රජුගේ උයනින් මිහිරි අඹපල තුඩින් ගෙන යන්නේ ශාස්තෲන් වහන්සේ දැක පහන් සිතැත්තේ බුදුරජාණන් වහන්සේට දෙන්නෙමියි සිතක් ඉපදවීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ චිත්තාවාරය දැන පාත්‍රය ගෙන වැඩහුන් සේක. කෝකිලයා දසබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹපලය තැබීය. ශාස්තෲන් වහන්සේ ඔහුට සොම්නස් උපදවනු පිණිස ඔහු බලා සිටියදීම වැළඳූ සේක. ඉක්බිති ඒ කෝකිලයා පහන් සිතැත්තේ ඒ ප්‍රීති සුඛයෙන්ම සත්දිනක් ගතකළේය. ඒ පින්කමින්ම උපනුපන් භවයෙහි මධුර ස්වර ඇත්තේ විය. කස්සප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපිද දෙටු වඩුවා වී ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ශරීර ධාතූන් නිදන් කරන ලද සත් යොදුනක් පමණ වූ ස්තූපය ඇරඹි කල්හි ඔහු මෙසේ කීය. යොදුනක් පමණ කරමු. ඒ සියල්ලෝ ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ යොදුනක් පමණ චෛත්‍යය කරවීය. ඒ කර්මයෙන් උපනුපන් තැන්වල අන්‍යයන්ට වඩා අඩු උසක් ඇත්තේ විය. හේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ඉතා මිටි බැවින් රන්පිළිමයක් මෙන් සොඳුරු සිරුරක් ඇති බැවින්ද ලකුණ්ටක භද්දිය යයි ප්‍රසිද්ධ විය. පසුකලෙක ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව බහුශ්‍රැත වූයේ ධර්මකථික වූයේ වී මධුර ස්වරයෙන් අනුන්ට ධර්මය කීය.
ඉක්බිති එක් උත්සව දවසක එක් බමුණකු සමග රථයෙන් යන්නා වූ එක් ගණිකාවක් තෙරුන් වහන්සේ දැක දත් පෙන්වා සිනාසුණාය. තෙරුන් වහන්සේ ඇයගේ විදුරුමසෙහි නිමිත්ත ගෙන ධ්‍යාන උපදවා එය ආදිකොට විදසුන් වඩා අනාගාමී වූහ. නිරන්තරයෙන් කායගතාසතියෙන් වාසය කරන්නාහු එක් දවසක් ආයුෂ්මත් ධර්ම සේනාපතීන් විසින් අවවාද දෙනු ලබන්නාහු අනුශාසනා කරනු ලබන්නාහු රහත් බවෙහි පිහිටියහ. ඇතැම් භික්‍ෂූහු ද සාමණේරවරු ද උන්වහන්සේ රහත්බවට පත්වූ බව නොදන්නාහු කන්වලින් අල්ලා අදිති. අත්පා ආදිය අල්ලා සොලවා කෙළින්නාහු වෙහෙසට පත් කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අසා ‘මහණෙනි, මාගේ පුත්‍රයා වෙහෙස නොකරවු’ යයි කියූ සේක. එතැන් පටන් උන්වහන්සේ රහත්යයි දැන වෙහෙසට පත් නොකළහ.
උන්වහන්සේ රහත් ව හටගත් සොම්නස් ඇතිව තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය යනාදිය කීහ. මඤ්ජුනාහිනී කුජනං යනු මධුර වූ ප්‍රේමණීය වූ ස්වරයෙන් අභිනික්කුජිං මම ශබ්ද පිට කෙළෙමි යන අර්ථයි. මෙහි සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.