542. කඞ්ඛාරේවත ථේර අපදාන වර්ණනාව
දෙවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කඞ්ඛාරෙවත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ ය. ඒ සියල්ල පෙළ අනුව පහසුවෙන් දත හැක්කේමය.
543. සීවලී ථේර අපදාන වර්ණනාව
තුන්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද යට කියන ලද පරිදි විහාරයට ගොස් පිරිස් කෙළවර සිට දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ලාභීන් අතර අගතන්හි තබනු දැක මා ද මෙබඳු කෙනකු වන්නට වටීයයි දසබලයන් වහන්සේට ආරාධනාකොට සත්දිනක් මහදන් දී ‘ස්වාමීනි, මේ උත්සාහක කර්මයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මම ද ඔබවහන්සේ විසින් මෙයින් සත්වැනි දවසෙහි අගතන්හි තබනු ලැබූ භික්‍ෂුව මෙන් ලාභීන්ගෙන් අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනතුරක් නැති බව දැක ‘ඔබගේ මේ පැතුම අනාගතයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි සමෘද්ධ වන්නේ යයි ප්‍රකාශ කොට වැඩම කළ සේක. ඒ කුලපුත්‍රයා දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයට නුදුරෙහි එක් කුඩා ගමක උපන්නේ ය. එසමයෙහි බන්ධුමතී නගරවැසියෝ රජු සමග කතිකාකොට දසබලධාරීන් වහන්සේට දන් දුන්හ. එක්
දවසක් සියලුදෙනා එකතුව දනක් දෙන්නාහු ‘අපගේ දන්ගෙයි නැත්තේ කුමක්දැයි බලන්නාහු මීපැණි සහ උක්සකුරු නොදුටුවාහුය. ඔවුහු ‘කොහෙන් හෝ ගෙන එන්නෙමු’යි ජනපදයෙන් නගරයට පිවිසෙන මාර්ගයෙහි පුරුෂයකු තැබූහ. එදා ඒ කුලපුත්‍රයා තමාගේ ගමෙන් උක්සකුරු දීකිරි බඳුනක් ගෙන කිසිවක් හෝ ගෙනෙන්නෙමියි නගරයට යන්නේ මුවදොවා දෙවූ අත්පා ඇත්තේ යන්නෙමියි පහසු තැනක් බලන්නේ නගුල් හිසක් පමණ වූ මැස්සන් නැති දඬුවැල් බෑ මීයක් දැක මෙය මාගේ පිනින් උපන්නේ යයි ගෙන නගරයට පිවිසියේය. නාගරිකයන් විසින් තබන ලද පුරුෂයා එය දැක ‘පින්වත, මෙය කාහට ගෙනයහිදැ’යි ඇසීය. ‘මහත්මයාණනි, කිසිවකුට නොවේ මා විසින් විකුණනු ලබන්නකි.’ ‘එසේනම් මේ කහවනුව ගෙන මේ මීපැණි ද උක්සකුරු සහ දීකිරි ද දෙව’
හේ මෙසේ සිතීය. ‘මෙය බොහෝ නොඅගී. මොහුද එක්වරට බොහෝ දෙයි. විමසන්නෙමි’යි ඉන්පසු ඔහුට මෙසේ කීය.’ එක් කහවණුවකට නොදෙමි.’ ‘එසේනම් කහවණු දෙකක් ගෙන දෙව.’ ‘දෙකකටත් නොදෙමි.’ මේ උපායෙන් වැඩිකොට දහස තෙක් පැමිණියේය. ඔහු මෙසේ සිතීය. ‘වැඩිපුර රවටන්ට නොවටී.’ ‘හොඳයි මෙයින් කළයුතු දෙය අසන්නෙමි.’ ඉක්බිති ඔහුට මෙසේ කීය. ‘මෙය බොහෝ අගනා දෙයක් නොවේ. ඔබ බොහෝවක් දෙන්නෙහි. කුමක් සඳහා මෙය ගන්නෙහිද?’ ‘පින්වත මෙහි නුවරවැස්සෝ රජු සමග තරක් වී විපස්සී සම්බුදුරජාණන් වහන්සේට දන් දෙන්නාහු මේ දෙවගය දන්ගෙයි නොදක්නාහු මා ලවා සොයවති. යම් හෙයකින් මේ දෙවග නොලබන්නාහු නම් නගරවැසියන්ට පරාජයක් වන්නේය. ඒ නිසා දහසක් දී ගනිමි.’ ‘නගරවැසියන්ට පමණක් මෙය වටින්නේ කුමක් නිසාද? නැතහොත් අන් අයටද දෙන්ට වටී. කිසිවකුට මෙය වැළැක්වීමක් නැත. නගරවැසියන් අතර එක් දවසකට දහසක් දෙන කෙතෙක් සිටීද? නැත මිතුර. එසේනම් යන්න. නගරවැසියන්ට මෙසේ දන්වන්න. ‘එක් පුරුෂයෙක් මේ දෙවගය මුදලින් නො දෙයි. අප සමග තමාගේ අතින්ම දීමට කැමැත්තේය. ඔබලා මේ දෙදෙනාගේ කරුණු තර්ක නොකරන්නෝ වවු. ‘ඔබ මේ දානයෙහි ජ්‍යෙෂ්ඨ බවට කාය සාක්‍ෂි වන්න යයි කියා ගියේය. ඒ කුලපුත්‍රයා ගමින් ද්‍රව්‍ය සඳහා ගත් කහවණුවෙන් පස්කුළු ගෙන සුණුකොට මීවදයක් මිරිකා පස්කුළු සුන්නෙන් හනා නෙළුම් කොළයක බහා බැඳ ගෙනවුත් දසබලධාරීන් වහන්සේ නුදුරෙහි හිඳගත්තේය. මහජනයා විසින් ගෙනඑනු ලබන සත්කාර අතරෙහි තමාගේ හාත්පස බලන්නේ අවසරයක් දැන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමීනි මාගේ දුප්පත් සත්කාරයයි. මට අනුකම්පාකොට මෙය පිළිගනු මැනවැයි. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස සිව්මහරජුන් විසින් දෙන ලද ශෛල පාත්‍රයෙන් එය පිළිගෙන යම්සේ හැටඅට ලක්ෂයක් භික්‍ෂූන්ට දෙනුලබන දෙය නොගෙවී යන්නේද, එසේ අධිෂ්ඨාන කළ සේක.
ඒ කුලපුත්‍රයා නිමකළ බත්කිස ඇති භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක හුන්නේ මෙසේ කීය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද බන්ධුමතී නගරවාසීන් විසින් ඔබවහන්සේට සත්කාර ගෙනඑනු මා විසින් දක්නා ලද්දේය. මම ද මෙහි පිනෙන් උපනුපන් භවයෙහි ලාභයෙන්ද යසසින්ද අග්‍රප්‍රාප්ත වන්නෙමි. ‘ශාස්තෲන් වහන්සේ කුලපුත්‍රයා එසේ වේවා’යි කියා ඔහුට සහ නගරවාසීන්ට භුක්තානුමෝදනාව කොට නික්මගිය සේක. ඒ කුලපුත්‍රයා දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සුප්පාවාසා රජදුවගේ කුසයෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගත් කල්හි පටන් නිරන්තරයෙන් පඬුරු පන්සියයක් සුප්පාවාසා වෙත ගෙනඑනු ලැබේ. ඉක්බිති ඇයගේ ඒ පින විමර්ශනය කරනු පිණිස අතින් බිජුපැස ස්පර්ශ කරවයි. ඒ එක් එක් බීජයෙන් සලාක සියයක්, දහසක් නික්මෙයි. කොටු පිරෙන කාලයෙහි ද කොටුදොර අතින් ස්පර්ශ කරන රජදුවගේ පිනින් ගන්නවුන් ගත් ගත් තැන් නැවත පිරෙයි. පිරිපුන් බත් සැළෙන් රජදුවගේ පින යැයි කියා යමකුට දෙන්නවුන්ට උඩට නොනැගෙන තාක් කල් වුවද බත් අඩු නො වෙයි. දරුවා කුසට ආ අවස්ථාවේ සිට සත්වසක් ඉක්ම ගියේය.