45. පඤ්චහත්ථිය ථේර අපදාන වර්ණනාව
සුමෙධොනාම සම්බුද්ධො යනාදී වශයෙන් ආයුෂ්මත් පඤ්චහත්ථිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව තෙරුවන්හි පැහැදී වාසය කළේය. එසමයෙහි උපුල්මල් මිටි පහක් ගෙනාවාහුය. හේ එම උපුල්මල් මිටි පහ ගෙන වීථියෙහි ගමන් කරන්නා වූ සුමේධ භාග්යවතුන් වහන්සේට පූජා කළේය. ඒවා ගොස් අහසෙහි වියනක්ව සෙවන සදමින් තථාගතයන් වහන්සේ සමගම ගියේය. හේ එය දැක සොම්නස්ව ප්රීතියෙන් පිරුණු සිරුර ඇත්තේ දිවිඇති තාක් එම පිනම සිහිකොට එයින් චුතව දෙව්ලොව උපන්නේ යළියළිත් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය. කරන ලද කුසලයෙහි නමින් පඤ්චහත්ථිය තෙරුන්වහන්සේ යයි ප්රකට විය.
හේ තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්රත්යක්ෂයෙන් ප්රඥාවෙන් දුටු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ සුමෙධොනම සම්බුද්ධො ආදිය කීය. එහි සුමෙධො යනු යහපත් සොඳුරු නුවණ චතුරාර්ය සත්ය අවබෝධය. පටිසම්භිදා ආදි ප්රඥාව යමෙකුට ඇත්තේද ඒ භාග්යවතුන් වහන්සේ සුමේධ සම්යක් සම්බුදුරජාණන් වහන්සේය. අන්තරාපණෙ අතුරු වීදියෙහි යයි යනු සම්බන්ධයි. ඔක්ඛිත්තචක්ඛු යටට නැඹුරු වූ ඇස්. මිතභාණී යනු පමණ දැන කථාකරන සුලු, පමණ දැන ධර්මය දේශනා කරයි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
පඤ්චහත්ථිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
46. පදුමච්ඡදනිය ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමච්ඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ, පිරිනිවන්පෑ විපස්සි භාග්යවතුන් වහන්සේගේ චිතකය නෙළුම්මලින් පිදුවේය. හේ එම සිත් පැහැදීමෙන් දිවි ඇතිතාක් කල් සිට එයින් සුගතීන්හිම සැරි සරන්නේ දිව්ය සම්පත්තිය මනුෂ්ය සම්පත්තිය යන උභය සම්පත්තීන් නොයෙක්වර අනුභවකොට මේ අපගේ සම්යක් සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සසුනෙහි පැවිදිවූයේ වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත්විය. රාත්රිස්ථාන දිවා ස්ථානයන්හි ඒ ඒ තැන වසන්නා වූ උන්වහන්සේගේ විහාරය නෙළුම්මලින් වැසීයයි. එයින් උන්වහන්සේ පදුමච්ඡදනිය තෙරුන් වහන්සේ යයි ප්රකට වූවාහු,
තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු නිබ්බුතෙ ලොකනාථම්හි යනාදිය කීහ. එහි නිබ්බුතෙ යනු ස්කන්ධ පරිනිර්වාණයෙන් ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි විපස්සි සම්යක් සම්බුදුරජාණන් වහන්සේගේ සිරුර චිතමානීයමානෙ චිතකයට නැංවූ කල්හි සුපුල් නෙළුම්මල් කලඹක් ගෙන මම චිතකයට ආරොපයිං පිදුවෙමි යන අර්ථයි. සෙසු ගාථාවල අර්ථ යට කියූ පරිදි වේ.
පදුමච්ඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
47. ශයනදායක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තැනැත්තේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ඇත්දත් රන් ආදියෙන් නිදනු පිණිස ඇඳක් කරවා අනර්ඝ වූ විසිතුරු ඇතිරිලිවලින් අතුරා භාග්යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිළිගෙන පරිහරණය කළ සේක. හේ එම පින්කමින් දෙව් මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැහැද පැවිදිව විදසුන් අරඹා නොබෝ කලෙකින්ම රහත් විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සයනදායක තෙරුන් වහන්සේයයි ප්රකට විය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පුණ්යකර්මය සිහිකොට සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු සිද්ධත්ථස්ස භගවතො යනාදිය කීහ. ඒ සියල්ල පාළියෙහි නියමානුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
සයනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
48. චඞ්ක්රමදායක ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් චඞ්කමදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු දැනමිති බවට පත්වූවාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී උස් පාදමක් ඇති සුණු පිරියම් කළ රිදී රැසක් බඳු අලංකාර සක්මනක් කරවා මුතුදැල් වැනි සුදුවැලි අතුරා භාග්යවතුන් වහන්සේට දුන්හ. භාග්යවතුන් වහන්සේ සක්මන පිළිගත් සේක. පිළිගෙනද ස්වකීය සිත සමාධියට නංවා අනාගතයෙහි ගෞතම භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි ශ්රාවකයෙක් වන්නේ යයි ප්රකාශ කළ සේක. හේ එම පුණ්යකර්මයෙන් දෙවිමිනිසුන් අතර නැවත නැවත සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්ව කරන ලද පින්කමෙහි නමින් චඞ්කමදායක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.