397. ගිරිමානන්ද ථේර අපදාන වර්ණනාව
සත්වැනි අපදානයෙහි භරියා මෙ කාලකතා යනාදි වශයෙන් ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ සුමෙධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ භාර්යාව ද දරුවන් ද කලුරිය කළකල්හි සෝහුලින් අනනා ලද්දේ අරණ්‍යයට පිවිස වැටුණු ඵල බොජුන් ඇත්තේ රුක්මුල්හි වාසය කළේය. එකල්හි සුමෙධ භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩමකොට දහම් දෙසා සෝක නමැති හුල උගුලා දැමූ සේක. හේ දහම් අසා පහන් සිත් ඇත්තේ සුවඳමලින් භාග්‍යවතුන් වහන්සේ පුදා පසලා පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ ස්තුති කළේය.
හේ ඒ පින්කමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දෙතැනම සුව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුරෝහිතයාට පුත් ව උපන්නේ ය. ඔහුට ගිරිමානන්ද යයි නමක් විය. හේ දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ රජගහ නුවරට වැඩි ගමනේදී බුද්ධානුභාවය දැක ලද සැදැහැ ඇත්තේ පැවිදි ව මහණදම් පුරන්නේ කීපදවසක් ගම් අසපුවක වසා ශාස්තෲන් වහන්සේ වඳින්නට රජගහ නුවරට ගියේය. බිම්බිසාර මහරජ උන්වහන්සේගේ පැමිණීම අසා උන්වහන්සේ කරා එළඹ ස්වාමීනි මෙහිම වසනු මැනව. මම සිව්පසයෙන් උපස්ථාන කරමියි පවරා ගියේ නමුදු බොහෝ කළයුතු දෑ ඇති බැවින් එය සිහි නො කළේය. තෙරුන් වහන්සේ අවකාශ ස්ථානයක ම විසූ සේක. දෙවිවරු තෙරුන් වහන්සේ තෙමෙතියි යන බියෙන් වැසිදහර වැළකූහ. රජ තෙමේ වැසි නොවැසීමට කරුණ විමසා දැන තෙරුන්වහන්සේට කුඩා කුටියක් කරවීය. තෙරුන්වහන්සේ වසන්නාහු සේනාසන සප්‍රාය ලැබීමෙන් චිත්ත සමාධානය ලැබ වීර්ය මහත්වය යෙදූ විදසුන් උත්සුක කරවා රහත් බවට පැමිණියහ.
උන්වහන්සේ රහත්බවට පැමිණ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘භරියා මෙ කාලකතා’ යනාදිය කීහ. භාග්‍යවතුන් වහන්සේට කළ දැන්වීමද භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අනුශාසනාව ද මාර්ගඵල අධිගම අපදානය ද පෙළ අනුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අටවැනි නවවැනි දසවැනි අපදාන නොගැඹුරු අරුත් ඇත්තේමය.
සතළිස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
41. මෙත්තෙය්‍ය වර්ගය
සතළිස් එක්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පබ්බතකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය තෙරුන් වහන්සේගේ අපදානයයි. තවුස් පැවිද්දෙන් පැවිදි ව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට අඳුන්දිවිසම දන්දීම පමණක් වෙනස්ය. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
දෙවැනි අපදානයෙහි පබ්භාරකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් පුණ්ණක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි හිමවතෙහි යක්ෂ සේනාපතියකු වී පිරිනිවි බුදුරජාණන් වහන්සේගේ ආදාහනය කිරීම පමණක් වෙනස්ය. සෙස්ස පෙළ අනුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
තෙවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් මෙත්තගුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. හිමවත සමීපයෙහි අශෝක පර්වතයෙහි හේ තවුසෙක් ව පන්සලෙහි වසන්නේ සුමෙධ සම්බුදුරජාණන් වහන්සේ දැක පාත්‍රය ගෙන ගිතෙලින් පුරවා දුන්නේය. එය විශේෂයයි. පින්පල ආදී සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය. අපදාන ගාථාවන්ගේ අර්ථයද ප්‍රකට ම ය.