41. මෙත්තෙය්‍ය වර්‍ගය
සතළිස් එක්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පබ්බතකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය තෙරුන් වහන්සේගේ අපදානයයි. තවුස් පැවිද්දෙන් පැවිදි ව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට අඳුන්දිවිසම දන්දීම පමණක් වෙනස්ය. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
දෙවැනි අපදානයෙහි පබ්භාරකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් පුණ්ණක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි හිමවතෙහි යක්‍ෂ සේනාපතියකු වී පිරිනිවි බුදුරජාණන් වහන්සේගේ ආදාහනය කිරීම පමණක් වෙනස්ය. සෙස්ස පෙළ අනුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
තෙවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් මෙත්තගුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. හිමවත සමීපයෙහි අශෝක පර්වතයෙහි හේ තවුසෙක් ව පන්සලෙහි වසන්නේ සුමෙධ සම්බුදුරජාණන් වහන්සේ දැක පාත්‍රය ගෙන ගිතෙලින් පුරවා දුන්නේය. එය විශේෂයයි. පින්පල ආදී සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය. අපදාන ගාථාවන්ගේ අර්ථයද ප්‍රකට ම ය.
සිව්වැනි අපදානයෙහි ගඞ්ගාභාගීරථීනාම යනාදි වශයෙන් ආයුෂ්මත් ගොධක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහිද බමුණෙක් ව භාගීරථී ගංගාව තරණය කරන්නේ භික්‍ෂූන් දැක පහන් සිතැත්තේ ඒදඬුවක් කරවා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පවරාදුන් බව පමණක් විශේෂයි. පින්පල දක්වන ගාථාවල අර්ථය නියමානුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
පස්වැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් උපසීව තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතුමා ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක තණ ඇතිරියක් අතුරා සත්‍ථු වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට සල්මල් පූජාවක් කළේය යන්න මේ විශේෂයයි. සෙස්ස නොගැඹුරු ම ය.
සවැනි අපදානයෙහි මිගලුද්දොපුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් නන්‍දක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතුමාද වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි කරවීක පක්‍ෂියෙක් ව මිහිරි හඬින් නාද කරමින් ශාස්තෲන් වහන්සේ ප්‍රදක්‍ෂිණා කළේය. පසුකලෙක මොනරෙක් ව එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වසන ලෙන්දොර පහන් සිතැත්තේ දවසට තෙවරක් මිහිරිහඬින් (නද කරනවිට) වැස්සක් වැස්සේය. මෙසේ භවයෙහි තැනින් තැන පින්කොට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නන්‍දකයයි ලද නම් ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා පැවිදි ව විදසුන් වඩා රහත් බවට පැමිණියේය. උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘මිගලුද්දොපුරෙ ආසිං’ යානදිය කීහ. එහි පසේ බුදුරජාණන් වහන්සේට මණ්ඩපයක් කොට නෙළුම්මලින් වැසීම පමණක් විශේෂයකි.
සත්වැනි අපදානයෙහි පබ්භාරකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් හෙමක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද සෘෂි පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි වසන්නේ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ පැමිණි බව දැක රන්මුවා පුටුවක් පනවා දුන්නේ ය. එහි වැඩහුන් බුදුරජාණන් වහන්සේට කළයක් තරම් දඹපලයක් ගෙනවුත් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත්පහන්වීම පිණිස ඒ ඵලය වැළඳූ සේක. විශේෂය මෙපමණය.
අටවැනි අපදානයෙහි රාජාසි විජයො නාම යනාදි වශයෙන් ආයුෂ්මත් තොදෙය්‍ය තෙරුන් වහන්සේගේ අපදානයයි. එහිද රාජාසි විජයො නාම යනු තරුණ කාලයෙහි පටන් සියලු සංග්‍රාමයන්හි ජයගන්නා බැවින් සතරසංග්‍රහ වස්තූන්ගෙන් ජනයා රංජනය කරන හෙයින් ඇලෙන බැවින් විජයනම් රජ වීය යන අර්ථයි. කෙතුමතී පුරුත්තමෙ යනු කේතු යනු ධ්වජපතාකය. නැතහොත් නගරයෙහි සිට පාලනය සඳහා නුවරමැද ඔසවන ලද රුවන් තොරන් ය. ඒ කේතු නිතරම ඔසවනලදුව බබලමින් ඇතැයි කේතුමතී, සියලු ජනයාගේ සිත් ධනධාන්‍යයෙන් පිරේනුයි පුරං. කේතුමතිය ද නගරය ද ශ්‍රේෂ්ඨ අර්ථයෙන් උත්තම ද වේනුයි කේතුමතී පුරුත්තම ඒ උතුම් පුරයෙහි. සුරො වික්කම සම්පන්නො යනු අභීත වූ වීර්ය සම්පන්න වූ විජය නම් රජතෙමේ වාසය කරයි යනු සම්බන්ධයි. මෙබඳු වූ පුරය ද සියලු වස්තු වාහන ද හැරදමා හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි ව වසන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේ දැක සොම්නස් උපදවා සඳුන් පූජා කිරීම පමණක් විශේෂයි.