396. බක්කුල ථේර අපදාන වර්ණනාව
දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි අපදාන නොගැඹුරුමය. සවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ ආදි වශයෙන් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද අතීතයෙහි මෙයින් අසංඛ්ය කල්ප සියදහසකට අධික කලකට පෙර අනොමදස්සි භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ තුන්වේදයන් ඉගෙන එහි හරයක් නොදක්නේ පරලොව දියුණුව සොයා යන්නෙමියි සෘෂි පැවිද්දෙන් පැවිදි ව පර්වත පාදයෙහි වාසය කරන්නේ පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටියේ ශාස්තෲන් වහන්සේට වාතාබාධ ඇතිවූ කල්හි වනයෙන් බෙහෙත් ගෙනවුත් එය සුව කළේය. හේ එයින් චුතව බඹලොව ඉපිද එක් අසංඛෙය්යයක් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක අල්පාබාධ ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර අපේක්ෂා කරන්නේ ප්රාර්ථනාවක් කොට දිවි ඇති තෙක් කුසල කර්මයන් රැස්කොට සුගතීන්හිම සැරිසරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බන්ධුමතී නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. හේ සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නොදක්නේ සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්යානලාභී වී පර්වත පාදයෙහි වසන්නේ බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටා භික්ෂූන්ට පීනස් රෝගය වැළඳුණු කල්හි එය සුවපත්කොට දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ බඹලොව ඉපිද අනූඑක්වැනි කල්පයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කස්සප භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දිරාගිය විනාශයට යන විහාරයක් දැක එහි පොහොය ගෙය ආදී සියල්ල වාසස්ථානයක් කරවා, එහි භික්සු සංඝයාට සියලු බෙහෙත් පිළියෙලකොට දිවි ඇතිතෙක් කුසල්කොට බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම කොසඹෑනුවර සිටු කුලයක උපන්නේය.
හේ මව්කුසින් නික්ම කිරිමවුන් විසින් නීරෝගී බව පිණිස යමුනා නදියෙහි නහවනු ලබන්නේ ඔවුන්ගේ අතින් මිදුණේය. එකල්හි එක් මසකු විසින් ගිලින ලද්දේ විය. කෙවුලෝ ඒ මත්ස්යයා දැලින් ගෙන බරණැස සිටුවරයාගේ බිරිඳට වික්කාහුය. ඇය ඌ ගෙන පලන්නී පෙර කරන ලද පින් බලයෙන් නීරෝගී දරුවා දැක ‘මට පුතෙක් ලැබුණේයයි ගෙන පෝෂණය කළාය. ජාතක මව්පියන් විසින් ඒ පුවත අසා ගොස් ‘මේ අපගේ පුත්රයාය. ඔහු අපට දෙව’යි බලකළ කල්හි රජු විසින් දෙදෙනටම සාධාරණයක් වේවා’යි කුල දෙකටම දායාදයක් ලෙස විනිශ්චයකොට තැබූ බැවින් බක්කුලයයි ලද නම් ඇත්තේ වැඩිවිය පත්වූයේ මහා සම්පත් අනුභව කරන්නේ සිටුකුල දෙකෙහි එකින්එක සමසක් සමසක් වාසය කරයි. ඔවුහු තමතමන්ගේ වාරය පැමිණි කල්හි පහුරක් බැඳ ඒ මත රුවන් මණ්ඩපයක් කරවා පසඟතුරු දී කුමාරයා එහි හිඳුවා නගර දෙක මැද ගඟෙහි එක් තැනකට එති. අනිත් සිටුවරයාගේ මිනිස්සුද එසේම සදා එසේ ඒ ස්ථානයට ගොස් කුමාරයා ඒ අයුරින්ම ගෙන යති. හේ මෙසේ වැඩෙන්නේ දෙපිරිසේම ආශිර්වාදය ලබමින් සිටුවරුන් දෙදෙනාගේ පුත්රයා යයි ප්රකට වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව සත්දිනයක් වෑයම් කරන්නේ අටවැනි දවසෙහි පිළිසිඹියා සහිත රහත්බවට පත්විය.
රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදූරෙ’ යනාදිය කීය. එහි අර්ථය යට කියන ලද්දේමය. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය. ඉන්පසු උන්වහන්සේ රහත්බවට පත්ව විමුක්ති සුඛයෙන් වාසය කරන්නාහු සැටදහසක් ආයුෂ ඇත්තේව පිරිනිවන් පෑ සේක.
බක්කුල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
397. ගිරිමානන්ද ථේර අපදාන වර්ණනාව
සත්වැනි අපදානයෙහි භරියා මෙ කාලකතා යනාදි වශයෙන් ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ සුමෙධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ භාර්යාව ද දරුවන් ද කලුරිය කළකල්හි සෝහුලින් අනනා ලද්දේ අරණ්යයට පිවිස වැටුණු ඵල බොජුන් ඇත්තේ රුක්මුල්හි වාසය කළේය. එකල්හි සුමෙධ භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩමකොට දහම් දෙසා සෝක නමැති හුල උගුලා දැමූ සේක. හේ දහම් අසා පහන් සිත් ඇත්තේ සුවඳමලින් භාග්යවතුන් වහන්සේ පුදා පසලා පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ ස්තුති කළේය.