391. පිළින්‍දිවච්ඡ ථේර අපදාන වර්ණනාව
සතළිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි නගරෙ හංසවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් පිළිදිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර දොරටුපාල පවුලක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ විය. හේ කෝටි ගණනින් උපයන ලද ධනරාශිය බලා රහසිගතව හුන්නේ මේ සියලු ධනය මා විසින් මැනවින් ගෙන යන්නට වටීයයි සිතා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සියලු පිරිකර සහිත මහා දානයක් දෙන්නට සනිටුහන් කොට සියලු පරිභෝග පරිෂ්කාර සියදහසක් වශයෙන් කරවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනාකොට බුද්ධප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නේ ය. මෙසේ සත්දිනක් දන් දී අවසන් දවසෙහි නිවන් අවබෝධය පතා දිවි ඇති තෙක් පින්කොට ජීවිතය කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදි සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ ගෝත්‍ර වශයෙන් පිළින්‍දිවච්ඡ යයි ප්‍රකට විය.
හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වූ නොබෝකලකින් රහත් වී තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ උදාන වශයෙන් එය ප්‍රකාශ කරන්නේ නගරෙහංසවතියා යනාදිය කීය. එහි අර්ථය යට කියන ලදි. ආසිං දොවාරිකො ආසිං යනු හංසවතී නුවර රජුගේ ගෘහපාලකයා ආසිං වීමි යන අර්ථයි. අක්ඛොහං අමිතං භොගං යනු රජුට වල්ලභ හෙයින් අනුන් විසින් ඛොහෙතුං සොලවන්නට නොහැකි අමිතං අප්‍රමාණ භොගං ධනය මාගේ ගෙහි සන්නිචිතං රැස්කරන ලද්දේ විය යන අර්ථයි.
බහුමෙධිගතා භොගා යනු මෙ මා විසින් අධිගතා පැමිණෙන ලද්දේ ලබන ලද්දේ යන අර්ථයි. කුඩ දැලි පිහි ආදී පිරිකරවල නම්ද පහසුවෙන් දතහැකිය. පිරිකර දන්දීමේ ආනිසංසද නියමානුකාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
පිළින්‍දිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි අපදාන නොගැඹුරුමය.
396. බක්කුල ථේර අපදාන වර්ණනාව
දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි අපදාන නොගැඹුරුමය. සවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ ආදි වශයෙන් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද අතීතයෙහි මෙයින් අසංඛ්‍ය කල්ප සියදහසකට අධික කලකට පෙර අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ තුන්වේදයන් ඉගෙන එහි හරයක් නොදක්නේ පරලොව දියුණුව සොයා යන්නෙමියි සෘෂි පැවිද්දෙන් පැවිදි ව පර්වත පාදයෙහි වාසය කරන්නේ පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටියේ ශාස්තෲන් වහන්සේට වාතාබාධ ඇතිවූ කල්හි වනයෙන් බෙහෙත් ගෙනවුත් එය සුව කළේය. හේ එයින් චුතව බඹලොව ඉපිද එක් අසංඛෙය්‍යයක් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක අල්පාබාධ ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර අපේක්‍ෂා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට දිවි ඇති තෙක් කුසල කර්මයන් රැස්කොට සුගතීන්හිම සැරිසරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බන්‍ධුමතී නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. හේ සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නොදක්නේ සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යානලාභී වී පර්වත පාදයෙහි වසන්නේ බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටා භික්‍ෂූන්ට පීනස් රෝගය වැළඳුණු කල්හි එය සුවපත්කොට දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ බඹලොව ඉපිද අනූඑක්වැනි කල්පයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දිරාගිය විනාශයට යන විහාරයක් දැක එහි පොහොය ගෙය ආදී සියල්ල වාසස්ථානයක් කරවා, එහි භික්‍සු සංඝයාට සියලු බෙහෙත් පිළියෙලකොට දිවි ඇතිතෙක් කුසල්කොට බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම කොසඹෑනුවර සිටු කුලයක උපන්නේය.