389. සෝණකෝටිවීස ථේර අපදාන වර්ණනාව
නවවැනි අපදානයෙහි විපස්සිනො පාවචනෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සොණ කොළිවිස තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙර නමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මහාවිභව සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පත්වූයේ සිටුවරයෙක් ව උපාසකයෙකු සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ භාග්යවතුන් වහන්සේ සක්මන් කරන ස්ථානයෙහි සුණුපිරියම් කරවා එක් ලෙනක්ද කරවා නොයෙක් වර්ණ නැති වස්ත්රවලින් ලෙන්බිම අතුරා මතුයෙහි වියනක්ද කොට සිව්දිගින් වඩනා සංඝයාට පවරා සත්දිනක් මහදන් පවත්වා ප්රාර්ථනාවක් කෙළේය. භාග්යවතුන් වහන්සේ අනුමෝදනා කළ සේක. හේ ඒ පින්කමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට ඉන්පසු කාශ්යප දසබලයන් වහන්සේ පිරිනිවි කල්හි භාග්යවතුන් වහන්සේ නොපැමිණ තිබියදී බරණැස කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ගංගා නදීතෙර පන්සලක් කරවා වසන්නේ එක් පසේබුදු කෙනකුන් වහන්සේ නමකට තුන්මසක් සිව්පසයෙන් සකසා උපස්ථාන කළේය. පසේ බුදුරජාණන් වහන්සේ විසූවස් ඇත්තේ පිරිපුන් පිරිවර ඇත්තේ ගන්ධමාදනයටම වැඩි සේක. ඒ කුලපුත්රයා දිවි ඇතිතාක් එහි පින්කොට එයින් චුතවී දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි චම්පා නුවර අගසිටුවරයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගන්නා කාලයෙහි පටන් සිටුවරයාට මහාභෝග රැසක් වැඩිවිය. ඔහු මව්කුසින් නික්මෙන දවසෙහි මුළු නුවරම මහා ලාභසත්කාර සම්මාන ඇතිවිය. උපන්නා වූ ඔහුට පෙර පසේ බුදුරජාණන් වහන්සේට සියදහසක් අගනා රතුපලසක් පරිත්යාග කිරීමෙන් සුවඳ වූ ද රතුවූ ද රන්වන් වූ ද ආත්මභාවයක් විය. ඒ නිසා ඔහුට සෝණ යැයි නමක් විය. ඔහුගේ පියා ඔහුට කෝටියක් අගනා කන් පළඳනාවක් කරවීය. ඒ උදෙසා පසුකලෙක සෝණ කෝටිකණ්ණ යයි නාමයක් විය. හේ මහත් පිරිවරින් වැඩුණේය. ඔහුගේ අතුල්පතුල් බඳුවදමල් පැහැ විය. ඒ අතුල්පතුල්වල සියවරක් නෙළූ කපුපුළුන් මෙන් මුදුපහසක් විය. පතුල්වල මිණිකොඬොල් වැනි ලෝම ඇතිවිය. වැඩිවිය පත් ඔහුට තුන් සෘතුන්ට ගැළපෙන ප්රාසාද තුනක් කරවා නාටක ස්ත්රීන් ලවා උපස්ථාන කරවීය. හෙතෙමේ එහි මහත් වූ සම්පත් අනුභව කරන්නේ දෙව් කුමරකු මෙන් වාසය කරයි.
ඉක්බිතිව අපගේ භාග්යවතුන් වහන්සේ සර්වඥ භාවයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර නිසා වාසය කරන සේක් බිම්බිසාර රජු විසින් කැඳවන ලදුව අසූදහසක් ගැමියන් සමග රජගහ නුවරට පැමිණියේ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ මව්පියන් අනුදන්වා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව ලද උපසම්පදා ඇත්තේ ශාස්තෲන් වහන්සේ හමුවෙහි කමටහන් ගෙන ජනආශ්රය ලබනු පිණිස සීත වනයෙහි විසුවේය. හේ එහි වසන්නේ මාගේ සිරුර සියුමැලිය. සැපයෙන් සැපය අවබෝධ කරගත නොහැකියයි. කය වෙහෙසවා හෝ මහණදම් පුරනුවට වටී යයි සිතා හිටි සක්මන අධිෂ්ඨාන කොට ප්රධන්වීර්යයෙහි යෙදෙන්නේ පතුල්වල බිබිලි නැගුණුවිට වේදනාව උපේක්ෂාවෙන් සලකා දැඩි වීර්යය කරන්නේ අතිශයින් අරඹන ලද වීර්යය ඇති බැවින් විශේෂයක් උපදවා ගන්නට නොහැක්කෙමි. පැවිද්දෙන් මා හට කවර ප්රයෝජනයක්දැයි සිවුරුහැර භෝගයන් අනුභවකරමි. පින්ද කරන්නෙමියි සිතීය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ උන්වහන්සේගේ සිත් හැසිරීම් දැන එහි වැඩමවා වීණා උපමාවාදයෙන් අවවාදකොට වීර්යය සමකිරීම පිණිස යෙදෙන ආකාරය දක්වා කමටහන් යොදා ගිජුකුළු පව්වට වැඩි සේක. සෝණද ශාස්තෲන් වහන්සේ සමීපයෙන් අවවාද ලැබ වීර්ය සමථය යොදා විදර්ශනාව උත්සාහවත් කොට රහත්බැව්හි පිහිටියේය.
සෝණ රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘විපස්සිනො පාවචනෙ’ යනාදිය කීය. එහි විපස්සී යනු විශේෂයෙන් හෝ විවිධ ලෙස බලානුයි විපස්සී. පාවචනෙ පිළිවෙලින් කියනු ලැබේනුයි පාවචන නමි. පිටකත්රයයි. ඒ විපස්සි බුදුරජාණන් වහන්සේගේ ඒ පිටකත්රයෙහි යන අර්ථයි. ලෙණං යනු සත්ත්වයෝ මෙහි ඇලෙත්නුයි ලෙණ නමි. විහාරයයි. බන්ධුමා රාජධානියා යනු කුල පරම්පරා වශයෙන් ඔවුනොවුන් හමුවෙත්නුයි බැඳෙත්නුයි බන්ධු නමි. නෑයෝ. ඔවුහු මෙහි වසත්නුයි බන්ධුමා නමි. ඔහුට බන්ධූහු ඇතැයි හෝ බන්ධුමා නමි. රජවරුන්ගේ වසනස්ථානයනුයි රාජධානි. බන්ධුම වූයේද රාජධානි වූයේද බන්ධුමා රාජධානි. එයට ලෙණක් මා විසින් කරන ලදි යනු සම්බන්ධයි. මෙහි සෙස්ස නොගැඹුරුමය.
සොණකොලිවිස තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
390. පුබ්බකම්මපිලෝතිකාවදාන වර්ණනාව
දසවැනි අපදානයෙහි අනොතත්තඝරාසනෙන යනු පර්වත කූටයන්ගෙන් වැසුණු බැවින් චන්ද්ර සූර්යයන්ගේ තැවීමෙන් උණුසුම් බවක් මෙහි නැතැයි අනොතත්ත නමි. සරන්ති මහා නදීහු මෙතැනින් යත්නුයි හටගනිත්නුයි ගලාබසිත්නුයි ඝරො නමි. සිංහමුඛ ආදියෙන් නික්මුණු මහානදීහු තුන් තුන් වරක් පැදකුණුකොට නික්මුණු නික්මුණු දිසාභාගයෙන් සරන්ති යත්නුයි සරො. එයට ආසන්න සමීප ස්ථානයනුයි අනොතත්ත සරාසන්නං. තස්මිං අනෝතත්ත විලට ආසන්නයෙහි සමීපයෙහි යන අර්ථයි. රමණීයෙ යනු දේවඅසුර ගාන්ධර්ව කින්නර උරග බුදු පසේබුදු ආදීන් විසින් රමිතබ්බං ඇලිය යුතු රමණීය නමි. තස්මිං ඒ රමණීය වූ සිලාතලෙ යනු එකට ඝන වූ පර්වත ශිලාතලයෙහි යන අර්ථයි. නානාරතන පජ්ජොතෙ යනු පද්මරාග වේළුරිය ආදි නොයෙක් රත්නයන්ගෙන් පජ්ජොතෙ පිළිවෙලින් බබළන නානාගන්ධ වනත්තරෙ යනු නානාප්රකාර වූ සඳුන් අගිල් කපුරු කොල්ලන් අසෝක නා පුවක් කේතක ආදී නොයෙක් සුවඳ මලින් ගහණ වූ වනාන්තරයෙහි [missing trans]