390. පුබ්බකම්මපිලෝතිකාවදාන වර්ණනාව
දසවැනි අපදානයෙහි අනොතත්තඝරාසනෙන යනු පර්වත කූටයන්ගෙන් වැසුණු බැවින් චන්ද්‍ර සූර්යයන්ගේ තැවීමෙන් උණුසුම් බවක් මෙහි නැතැයි අනොතත්ත නමි. සරන්ති මහා නදීහු මෙතැනින් යත්නුයි හටගනිත්නුයි ගලාබසිත්නුයි ඝරො නමි. සිංහමුඛ ආදියෙන් නික්මුණු මහානදීහු තුන් තුන් වරක් පැදකුණුකොට නික්මුණු නික්මුණු දිසාභාගයෙන් සරන්ති යත්නුයි සරො. එයට ආසන්න සමීප ස්ථානයනුයි අනොතත්ත සරාසන්නං. තස්මිං අනෝතත්ත විලට ආසන්නයෙහි සමීපයෙහි යන අර්ථයි. රමණීයෙ යනු දේවඅසුර ගාන්ධර්ව කින්නර උරග බුදු පසේබුදු ආදීන් විසින් රමිතබ්බං ඇලිය යුතු රමණීය නමි. තස්මිං ඒ රමණීය වූ සිලාතලෙ යනු එකට ඝන වූ පර්වත ශිලාතලයෙහි යන අර්ථයි. නානාරතන පජ්ජොතෙ යනු පද්මරාග වේළුරිය ආදි නොයෙක් රත්නයන්ගෙන් පජ්ජොතෙ පිළිවෙලින් බබළන නානාගන්‍ධ වනත්තරෙ යනු නානාප්‍රකාර වූ සඳුන් අගිල් කපුරු කොල්ලන් අසෝක නා පුවක් කේතක ආදී නොයෙක් සුවඳ මලින් ගහණ වූ වනාන්තරයෙහි [missing trans]
ගුණමහත් බැවින් ද සංඛ්‍යා මහත් බැවින් ද මහත් භික්‍ෂු සංඝයා විසින් පරෙතො පිරිවරන ලද්දේ ලොකනායකො තුන්ලොවට ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සිලාසනයෙහි වැඩ හුන්සේක් තමාගේ පූර්වකර්මයන් ප්‍රකාශ කළ සේක. විශේෂයෙන් ප්‍රකට කළ සේක යන අර්ථයි. බුද්ධ අපදානයෙහි ඇතුළත් වුවද මෙහි අපදානයෙහි කුසල අකුසල කර්ම කියැවෙන බැවින් වර්ග සංග්‍රහ වශයෙන් ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා සංගායනා කළාහුය.
පුබ්බකම්ම පිලොතිකගේ අපදාන අටුවාවයි.
තිස්නවවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
40. පිළින්‍දවච්ඡ වර්‍ගය
391. පිළින්‍දිවච්ඡ ථේර අපදාන වර්ණනාව
සතළිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි නගරෙ හංසවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් පිළිදිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර දොරටුපාල පවුලක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ විය. හේ කෝටි ගණනින් උපයන ලද ධනරාශිය බලා රහසිගතව හුන්නේ මේ සියලු ධනය මා විසින් මැනවින් ගෙන යන්නට වටීයයි සිතා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සියලු පිරිකර සහිත මහා දානයක් දෙන්නට සනිටුහන් කොට සියලු පරිභෝග පරිෂ්කාර සියදහසක් වශයෙන් කරවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනාකොට බුද්ධප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නේ ය. මෙසේ සත්දිනක් දන් දී අවසන් දවසෙහි නිවන් අවබෝධය පතා දිවි ඇති තෙක් පින්කොට ජීවිතය කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදි සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ ගෝත්‍ර වශයෙන් පිළින්‍දිවච්ඡ යයි ප්‍රකට විය.
හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වූ නොබෝකලකින් රහත් වී තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ උදාන වශයෙන් එය ප්‍රකාශ කරන්නේ නගරෙහංසවතියා යනාදිය කීය. එහි අර්ථය යට කියන ලදි. ආසිං දොවාරිකො ආසිං යනු හංසවතී නුවර රජුගේ ගෘහපාලකයා ආසිං වීමි යන අර්ථයි. අක්ඛොහං අමිතං භොගං යනු රජුට වල්ලභ හෙයින් අනුන් විසින් ඛොහෙතුං සොලවන්නට නොහැකි අමිතං අප්‍රමාණ භොගං ධනය මාගේ ගෙහි සන්නිචිතං රැස්කරන ලද්දේ විය යන අර්ථයි.