26. ථොමක වර්ගය
විසිහයවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය නොගැඹුරුමය.
දෙවැනි අපදානයෙහි විජහිත්වා දෙවවණ්ණං යනු දේවතා ශරීරය විජහිත්වා හැරදමා මනුෂ්ය ශරීරයක් මවාගෙන යන අර්ථයි. අධිකාරං කත්තුකාමො යනු අධිකකිරියං පින් රැස් කිරීමක් කරනු කැමැත්තේ දේවර නම් වූ මම දේවර භාර්යාව සමග බුද්ධ ශ්රේෂ්ඨයින් වහන්සේගේ සසුනෙහි ආදර ඇති බැවින් ඉධ මේ මිනිස්ලොව. ආගමිං පැමිණියේ වෙමි යන අර්ථයි. තස්ස භික්ඛා මයා දින්නා යනු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ යම් දෙවරනම් ශ්රාවකයෙක් වීද, ඒ ශ්රාවකයාට මා විසින් අතිශයින් ප්රසන්න වූ සිතින් භික්ඛාදින්නා පිණ්ඩපාතය දෙන ලදී යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි ආනන්දො නාම සම්බුද්ධො යනු ආනන්දං සන්තෝෂය ජනනය කරන බැවින් ආනන්ද නම් පසේ බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. අමනුස්සම්හි කානනෙ යනු අමනුෂ්යයන් විසින් අරක් ගන්නා ලද කානනෙ මහා වනයෙහි පරිනිබ්බායි අනුපාධිසේස නිර්වාණ ධාතුවෙන් අන්තරධායි නොදැක්මට වැඩි සේක යන අර්ථයි. සරීරං තස්ස ඣාපෙසිං යනු මම දෙව්ලොවින් මේ මිනිස්ලොවට පැමිණ ඒ භාග්යවතුන් වහන්සේගේ සිරුර මේ මහවනයෙහි ඣාපෙසිං ආදාහනය කෙළෙමි යන අර්ථයි.
සතරවැනි පස්වැනි අපදාන නොගැඹුරුමය.
සවැනි අපදානයෙහි අහොසිං චන්දනොනාම යනු නාමෙන ප්රඥප්ති වශයෙන් චන්දන නමි. සම්බුද්ධස්සත්රජො යනු පසේ බුදුවන්නට පළමුව උන්වහන්සේගේ අත්රජො පුත්ර බවට මම පත්වීමි. එකොපාහනො මයා දින්නො යනු පාවහන් යුගලයක් මා විසින් දෙන ලදී. බොධිං සම්මජ්ජ මෙ තුවං යනු පින්වත් පාවහන් යුගලය, මෙ මාගේ ශ්රාවක බෝධිය ඔබ හැමද උපදවන්න යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි මඤ්ජරිකං කරිත්වාන යනු මදටියමලින් පිරුණු ගොටුවක් ගෙන රථියා වීදියෙහි පිළිපන්නෙමි. මම එසේ පිළිපන්නේ ව භික්ෂු සංඝයා පුරක්ඛතං පිරිවරන ලදුව. සමණානග්ගං භික්ෂූන්ට අග්රවූ ශ්රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි යන සම්බන්ධයි. බුද්ධස්ස අභිරොපයිං යනු ඒ මල දැක දෝතින් ගෙන ඔසවා බුද්ධස්ස ඵුස්ස භාග්යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
අටවැනි අපදානයෙහි අලොණ පණ්ණ භක්ඛොම්හි යනු කිරි සහිත කොළ ආදිය ඇවිද අහුලා ගෙනවුත් ලුණු නැති කොළ පිස කමි, අලොණ පණ්ණ භක්ඛො අම්හි වෙමි යන අර්ථයි. නියමෙසුව සංයමො යනු පෙරබත් කල් නොපැමිණි කල්හි. සිද්ධත්ථො උපගඤ්ජිං මං යනු මාගේ සමීපයට සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ උපගඤ්ජි සපැමිණි සේක. තාහං බුද්ධස්ස පාදාසිං යනු මම ඒ ලුණු නැති කොළ ඒ බුදුරජාණන් වහන්සේට දුනිමි යන අර්ථයි.
නවවැනි අපදානය නොගැඹුරුමයි.
දසවැනි අපදානයෙහි සිඛීනං සිඛිනං යථා යනු ශරීරයෙන් නික්මුණු සවණක් රැසින් ඔභාසයන්තං දිලිසෙන සිඛීනං සිඛී භාග්යවතුන් වහන්සේ දිලෙන ගිනිකඳක් මෙන්. අග්ගජං පුප්ඵමාදාය යනු අග්රජ නම් මල් ගෙන බුද්ධස්ස සිඛී භාග්යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
විසිහයවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
27. ආකාසුක්ඛිපිය වර්ගය
විසිහත්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ජලජග්ගෙ දුවෙ ගය්හ යනු ජලෙ ජලයෙහි හටගත් අග්ර වූ උත්පල ආදී මල් දෙකක් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් එක් මලක් පාමුල නික්ඛිපිං පූජා කෙළෙමි. එක් මලක් අහසට දැමීමි යන අර්ථයි.
දෙවැනි අපදානය ප්රකට ම ය.
තෙවැනි අපදානයෙහි බොධියාපාදපුත්තමෙ යනු උතුම් වූ බෝධි වෘක්ෂයෙහි. අඩ්ඪචාදං මයා දින්නං යනු ඒ බෝධිමූලයෙහි අර්ධ චන්ද්රාකාරයෙන් මා විසින් නොයෙක් මල් පූජාකරන ලද්දේය යන අර්ථයි. ධරණීරුහාපාදපෙ යනු වෘක්ෂ පර්වත රත්න ආදී දරානුයි ධරණී, පෘථුවියයි. ධරණියෙහි රුහති පිහිටානුයි ධරණීරුහ නමි. පාදසංඛ්යාත වූ මුලින් ජලය පානය කෙරේනුයි කඳ අතු ආදියෙහි පැතිරේනුයි පාදප නමි. ධරණීරුහ වූයේ ද හෙම පාදප වූයේ ද ධරණීරුහපාදප නමි. ඒ ධරණීරුහ පාදපයෙහි මා විසින් මලක් පූජා කරන ලද්දේය යන අර්ථයි.
සිව්වැනි අපදානය නො ගැඹුරු ම ය.
පස්වැනි අපදානයෙහි හිමවන්තස්සාවිදුරෙ යනු හිමවතට ආසන්නයෙහි රොමසො නාම පබ්බජිතො යනු රුක්ලිය ගැබින් හෝ හුදෙක් කුසතණ ආදියෙන් ගැවසුණු බැවින් රොමසො නම් පර්වතයක් විය. තස්මිං පබ්බත පාදම්හි යනු ඒ පර්වතය කෙළවර සමණො භාවිතින්ද්රියො පව් නැසූ සන්සුන් කළ කෙලෙස් ඇති සමණො වඩන ලද ඉන්ද්රිය ඇති රැකි චක්ෂු ඉන්ද්රිය ඇති යන අර්ථයි. නැතහොත් වඩන ලද ඉන්ද්රිය ඇත්තේ වඩන ලද ශ්රද්ධා ඉන්ද්රිය ඇත්තේ යන අර්ථයි. ඒ ශ්රමණයන් වහන්සේට මම බිළාලි ආලුවෙ-නෙළුම් අල ගෙන දුනිමි යන අර්ථයි.