178. මණිපූජක ථේර අපදාන වර්ණනාව
ඔරෙන හිමවන්තස්ස යනාදී වශයෙන් ආයුෂ්මත් මණිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ගෘහවාසය තබා එහි ආදීනව දැක ගෘහවාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතට මෙපිට එක් නදියක් අසබඩ පන්සලක් කරවා වසන්නේ විවේක කැමැත්ත නිසා ද ඔහුට අනුකම්පාව නිසා ද එහි වැඩම කළ පදුමුත්තර භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මැණික් පුටුවක් භාග්යවතුන් වහන්සේට පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ ප්රසාදය වර්ධනය වනු සඳහා එහි වැඩහුන් සේක. හේ බෙහෙවින් පැහැදුණේ නිර්වාණ අධිගමය පිණිස ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි පූජිත වූයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති කුලයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ එක්දවසක් තමා විසින් කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘ඔරෙන හිමවන්තස්ස’ යනාදිය කීහ. එහි ඔරෙන යනු හිමවතෙහි අපරභාගය හැර මෙපස ආධාර අර්ථයෙහි කරණ වචනයයි. මේ පස දිශාභාගය යන අර්ථයි. නදෙකා සම්පවත්තථ යනු අප්රකට නමක් ඇති එක් නදියක් මනා සේ පවත්තති ගලයි, ගලාබසිමින් තිබිණ යන අර්ථයි. තස්සා චානුප ඛෙත්තම්හි ඒ නදියෙහි අනුපඛෙත්තම්හි තෙර සමීපයෙහි යන අර්ථයි. සයම්භුවසතෙ තදා යනු යම්කලෙක මම මිණිපලඟ පිදුවෙම්ද එකල්හි ගුරුවරයකු නැත්තේව තෙමේ ම බුදු වූ භාග්යවතුන් වහන්සේ වසතෙ වාසය කරන සේක යන අර්ථයි.
මණිං පග්ගය්හ පල්ලඞ්කං මනං ති චිත්තාරාධනය කෙරේනුයි සොම්නස් කෙරේනුයි මණි. නැතහොත් ආභරණ යනු මණි. රජවරු ආදීහු මැරුණත් එය අත්නොහරිති. ඒ සඳහා සටන් කරත්නුයි මණි. ඒ මැණික. මිණිපලඟ මනහරය. සාධුචිත්තං මනාසේ විචිත්ර වූ සිතින්. පග්ගය්හ ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට ආරොපයිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේමය.
මණිපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
179. තිකිච්ඡක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්ෂුව ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි වෙද කුලයක උපන්නේ බහුශ්රැත වූයේ මනා සේ හික්මුණේ වෛද්ය කර්මයෙහි දක්ෂ වූයේ බොහෝ රෝගීන්ට ප්රතිකාර කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක අසොක නම් තෙරුන් වහන්සේගේ රෝගයට පිළියම් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර වරින්වර සැප අනුභව කරන්නේ උපනුපන් භවයෙහි නීරෝගී වූයේ දීර්ඝායුෂ ඇත්තේ රන්වන් සිරුරක් ඇත්තේ විය.
මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ නීරෝගී වූයේ සැපවත් වූයේ විභව සම්පත් ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලද සැදැහැ ඇත්තේ ගෘහවාසය හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් ව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘නගරෙබන්ධුමතියා’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේමය.
තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
180. සඞ්ඝුපට්ඨාක ථේර අපදාන වර්ණනාව
වෙස්සභුම්හි භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් සංඝුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ නොයෙක් භවයන්හි නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභු භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ඒ ආරාමිකයාගේ පුත්රයා ව ඉපිද දැනමිති බවට පැමිණ ශ්රද්ධා ඇත්තේ පැහැදුණේ විහාරයන්හි ආරාමික කර්මය කරන්නේ සකසා සංඝයාට උපස්ථාන කළේය. හේ ඒ කුසල කර්මයෙන් ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ විභව සම්පත් ඇත්තේ සැපවත් වූයේ ප්රකට වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදිව සසුනෙහි පැහැදුණේ වත් සම්පන්න වූයේ සසුන බබුළුවන්නේ විදසුන් වඩා නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේ ෂට් අභිඥා ඇත්තේ පෙර කරන ලද පින්කම් වශයෙන් සංසුපට්ඨාක තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ විය.