179. තිකිච්ඡක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්‍ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුව ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්‍ධුමතී නගරයෙහි වෙද කුලයක උපන්නේ බහුශ්‍රැත වූයේ මනා සේ හික්මුණේ වෛද්‍ය කර්මයෙහි දක්ෂ වූයේ බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක අසොක නම් තෙරුන් වහන්සේගේ රෝගයට පිළියම් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර වරින්වර සැප අනුභව කරන්නේ උපනුපන් භවයෙහි නීරෝගී වූයේ දීර්ඝායුෂ ඇත්තේ රන්වන් සිරුරක් ඇත්තේ විය.
මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ නීරෝගී වූයේ සැපවත් වූයේ විභව සම්පත් ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලද සැදැහැ ඇත්තේ ගෘහවාසය හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් ව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නගරෙබන්‍ධුමතියා’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේමය.
තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
180. සඞ්ඝුපට්ඨාක ථේර අපදාන වර්ණනාව
වෙස්සභුම්හි භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් සංඝුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ නොයෙක් භවයන්හි නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ඒ ආරාමිකයාගේ පුත්‍රයා ව ඉපිද දැනමිති බවට පැමිණ ශ්‍රද්ධා ඇත්තේ පැහැදුණේ විහාරයන්හි ආරාමික කර්මය කරන්නේ සකසා සංඝයාට උපස්ථාන කළේය. හේ ඒ කුසල කර්මයෙන් ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ විභව සම්පත් ඇත්තේ සැපවත් වූයේ ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදිව සසුනෙහි පැහැදුණේ වත් සම්පන්න වූයේ සසුන බබුළුවන්නේ විදසුන් වඩා නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේ ෂට් අභිඥා ඇත්තේ පෙර කරන ලද පින්කම් වශයෙන් සංසුපට්ඨාක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ විය.
හේ එක් දවසක් පෙර මා විසින් කිනම් කර්මයක් කොට මේ ලොව්තුරා සැපත් ලබන ලද්දේදැයි තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකට කරන්නේ ‘වෙස්සභුම්හි භගවති’ යනාදිය කීය. එහි අහොසාරාමිකො අහං යනු මම වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ආරාමිකයෙක් වීමි යන අර්ථයි. සෙස්ස යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
සංසුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දහඅටවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
19. කුටජපුප්ඵිය වර්‍ගය
මින්පසුව දහනවවැනි වර්ගයෙහි පැමිණි මේ කුටජ තෙරුන් වහන්සේ ආදී තෙරුන් වහන්සේ දසනමගේ අපූර්වයක් නැත. ඒ තෙරුන් වහන්සේලා පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍යසම්භාර අනුව ප්‍රකට වූ නම් ඇත්තාහුමය. නිවාස නගර ආදියද යට කියන ලද පරිද්දෙන් දතයුත්තේය. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය.
දහනවවැනි වර්ග වර්ණනාව නිමියේය.
20. තමාලපුප්ඵිය වර්‍ගය
විසිවැනි වර්ගයෙහි පළමුවැනි තෙරුන් වහන්සේගේ අපදානය නොගැඹුරු ම ය.
දෙවැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි යං දායවාසිකො ඉසී යනු සෘෂි පැවිද්දෙන් පැවිදි ව වනයෙහි වසන බැවින් දායවාසික සෘෂි යයි ප්‍රසිද්ධියට ගියේ තමාගේම අනුකම්පාව පිණිස ඒ වනයට වැඩමකළ සිද්ධත්‍ථ ශාස්තෲන් වහන්සේ වසන තැන මඩුවෙහි වහලය සඳහා යම් තණක් වේද එය ලායති කපානුයි අර්ථයි. කුසතණ වහලයක් තනා නොයෙක් කුඩා දඬුවලින් මඩුවක් තනා එය තණපතින් වසා සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අදාසිං පිදුවෙමි යන අර්ථයි.
සත්තාහං ධාරයුංතස්ස යනු ඒ මඩුව එහි සිටි දෙවිමිනිස්සු සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී වැඩහුන් ශාස්තෲන් වහන්සේට හා දෙවි මිනිසුන්ට උපකාරී වූහ. ධාරයිංසු යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේම ය.
තිණසන්‍ථර දායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
තුන්වැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ යනු මෙහි ඛණ්ඩං යනු බදාම කඩන ලද බැවින් සුන්බුන් වූ ස්ථානය ඵුල්ල යනු බදාම? කැඩුණු තැන කණ්ණාකිත හතුවැනි මල් පිපීම. ඛණ්ඩ ද ඵුල්ල ද ඛණ්ඩඵුල්ල වේ. කටුකොහොල් ප්‍රතිසංස්කරණය යනු නැවත නැවත තහවුරු කිරීම යනු ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. මේ තෙරුන් වහන්සේ පුණ්‍ය සම්භාර පුරන කල්හි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයෙහි සුන්බුන් තන්හි හුණුපිඬක් ආලේපකොට තහවුරු කිරීම ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. ඒ නිසා උන්වහන්සේ ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේයයි ප්‍රකට වූහ. තුන්වැනියි.