168. දුස්සදායක ථේර අපදාන වර්ණනාව
තීවරායං පුරෙ රම්මෙ යනාදි වශයෙන් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රජ කුලයෙහි ඉපිද වැඩිවිය පත් කල්හි යුවරජ බවට පත්ව ප්‍රකට වූවාහු මෙසේ ජනපදයක් ලැබ එහි අධිපති වී සියලු ජනපදවාසීන්ට දාන ප්‍රියවචන අර්ථචර්යා සමානාත්මතා සංඛයාත සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කෙරෙත්. එසමයෙහි සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ එ් ජනපදයට සපැමිණි සේක. ඉක්බිති ඒ යුවරජ තෙමේ පණිවුඩයක් ලැබ එහිදී සියුම් වස්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදීය. භාග්‍යවතුන් වහන්සේ එය අතින් පිරිමැද අහසට පැන නැගි සේක. ඒ වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අනුවම ගියේය. ඉක්බිති ඒ යුවරජ තෙමේ ඒ අසිරිය දැක අතිශයින් පැහැදුණේ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පැමිණි පැමිණි තැන සියලු ජනයෝ ඒ අසිරිය දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තෝ ඇඳිලිබැඳ සිටියාහුය. භාග්‍යවතුන් වහන්සේ විහාරයටම වැඩි සේක. යුවරජ තෙමේ ඒ කුසල කර්මයෙන්ම එයින් චුතවූයේ දෙව්ලොව ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපදී දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා තෙරුවන්හි පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තීවරායං පුරෙ රම්මෙ’ යනාදිය කීහ. එහි තීවරා නම් නගරයෙහි මම රමණීය වූ රාජපුත්‍රයෙක් ව සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ වස්ත්‍රයකින් පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
දුස්සදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
169. සමාදපක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්‍ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් සමාදපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් සම්භාර ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා පින් කරන්නාහු සැදැහැත්තාහු පැහැදුණාහු බොහෝ උපාසකයන් රැස්කරවා ගණජ්‍යෙෂ්ඨව මළුවක් කරන්නෙමුයි ඒ සියලුදෙන සමාදන්කොට එක් මළුවක් සමකොට සුදුවැලි ඉස භාග්‍යවතුන් වහන්සේට පැවරූහ. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වුයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ධර්මය අසා පහන් සිතැත්තේ සැදැහැ ඇත්තේ පැවිදි ව සිල්වත් වූයේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.
උන්වහන්සේ පසුකලක තමා විසින් කරන ලද කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘නගරෙ බන්‍ධුමතියා’ යනාදිය කීහ. එහි බන්‍ධන්ති ඥාතිගෝත්‍ර ආදි වශයෙන් සියලු නගරවාසීහු එකට සම්බන්ධ වෙතියි බන්‍ධු නමි. මෙහි බන්‍ධුහු ඇත්නුහි බන්‍ධුමතී. ඒ බන්ධුමතී නගරයෙහි. මහාපුග්ගණො උපාසක සමූහය යන අර්ථයි. මාලං කස්සාමි සඞ්ඝස්ස යනු මෙහි මාති පැමිණි පැමිණි ජනයන්ගේ සිත ගනීනුයි මාලං නමි. මාලයම මාලක වේ. භික්‍ෂු සංඝයාගේ පහසු විහරණය සඳහා මාලකයක් කරන්නෙමු යන අර්ථයි. සෙස්ස ප්‍රකටමය.
සමාදපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
170. පඤ්චඞ්ගුලිය ථේර අපදාන වර්ණනාව
තිස්සො නාමාසි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා විභව සම්පත් ඇත්තේ වීදියෙන් විහාරයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දැක දෑසමන් ආදී නොයෙක් සුවඳමල් චන්දන ආදී විලේපනද ගෙන්වාගෙන විහාරයට ගියේ මලින් භාග්‍යවතුන් වහන්සේ පුදා විලේපනයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පසැඟිලි සලකුණු කොට වැඳ ගියේය.