169. සමාදපක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් සමාදපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් සම්භාර ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා පින් කරන්නාහු සැදැහැත්තාහු පැහැදුණාහු බොහෝ උපාසකයන් රැස්කරවා ගණජ්යෙෂ්ඨව මළුවක් කරන්නෙමුයි ඒ සියලුදෙන සමාදන්කොට එක් මළුවක් සමකොට සුදුවැලි ඉස භාග්යවතුන් වහන්සේට පැවරූහ. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වුයේ භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ධර්මය අසා පහන් සිතැත්තේ සැදැහැ ඇත්තේ පැවිදි ව සිල්වත් වූයේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.
උන්වහන්සේ පසුකලක තමා විසින් කරන ලද කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නගරෙ බන්ධුමතියා’ යනාදිය කීහ. එහි බන්ධන්ති ඥාතිගෝත්ර ආදි වශයෙන් සියලු නගරවාසීහු එකට සම්බන්ධ වෙතියි බන්ධු නමි. මෙහි බන්ධුහු ඇත්නුහි බන්ධුමතී. ඒ බන්ධුමතී නගරයෙහි. මහාපුග්ගණො උපාසක සමූහය යන අර්ථයි. මාලං කස්සාමි සඞ්ඝස්ස යනු මෙහි මාති පැමිණි පැමිණි ජනයන්ගේ සිත ගනීනුයි මාලං නමි. මාලයම මාලක වේ. භික්ෂු සංඝයාගේ පහසු විහරණය සඳහා මාලකයක් කරන්නෙමු යන අර්ථයි. සෙස්ස ප්රකටමය.
සමාදපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
170. පඤ්චඞ්ගුලිය ථේර අපදාන වර්ණනාව
තිස්සො නාමාසි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා විභව සම්පත් ඇත්තේ වීදියෙන් විහාරයට පිළිපන් භාග්යවතුන් වහන්සේ දැක දෑසමන් ආදී නොයෙක් සුවඳමල් චන්දන ආදී විලේපනද ගෙන්වාගෙන විහාරයට ගියේ මලින් භාග්යවතුන් වහන්සේ පුදා විලේපනයන්ගෙන් භාග්යවතුන් වහන්සේගේ සිරුරෙහි පසැඟිලි සලකුණු කොට වැඳ ගියේය.
හේ ඒ පිනින් දෙව්මිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්වී පූර්ව කර්මය සිහි කරන්නේ ප්රත්යක්ෂයෙන් දැන මෙනම් කුසලයක් කොට මෙබදු ලොව්තුරා සම්පත්තියකට පැමිණියේ වෙමියි පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘තිස්සො නාමාති භගවා’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේමය.
පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දහහත්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
18. කුමුද වර්ගය
171. කුමුදමාලිය ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පව්ව සමීපයෙහි මහා ජාතස්සරය ආසන්නයෙහි රාක්ෂසයෙක් ව ඉපිද අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ එහි පැමිණ සිටිනු දැක පහන් සිතැත්තේ කුමුදමල් නෙළා භාග්යවතුන් වහන්සේ පිදීය. භාග්යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි සේක.
හේ ඒ පිනින් එයින් චුතව දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ පැවිදිව වෑයම් කරන්නේ බ්රහ්මචර්යය අවසන්කොට ඇති රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීය. තත්ථජො රක්ඛසො ආසිං යනු ඒ ජාතස්සර සමීපයෙහි ජාතො උපන්නේ රක්ඛසො අනුන්ගේ ලේ මස් කන්නා වූ නිර්දය වූ ඝෝර වූ රූපයක් ඇති භයානක ස්වභාවයක් ඇති මහාබල ඇති මහා ශක්තියක් ඇති කර්කශ වූ යකෙක් ආසිං වීමි යන අර්ථයි.
කුමුද පුප්ඵකෙ තත්ථ යනු ඒ මහා විලෙහි හිරුරැස් නැති කල්හි සවස් කාලයෙහි. මුකුලිතං පිළිකුල් අයුරින් නිප්ඵභං අවර්ණ වේනුයි කුමුදයයි ලද නම් ඇති මල පුප්ඵතෙ විකසිත වේයයි යන අර්ථයි. චක්කමත්තානි ජායරෙ යනු ඒ මල් රියසක් පමණ වී හටගනී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
172. නිස්සෙණිදායක ථේර අපදාන වර්ණනාව
කොණ්ඩඤ්ඤස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් නිස්සෙණිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතු වූ පින් රැස් කරන්නේ කොණ්ඩඤ්ඤ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපදී සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ භාග්යවතුන් වහන්සේට ප්රාසාදයට නැගීම පිණිස ලී අරටුවෙන් ඉණිමගක් කොට ඔසවා තැබීය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ ප්රසාදය වඩනු පිණිස බලා සිටියදීම පහට උඩට නැගි සේක. හේ අතිශයින් පැහැදුණේ ඒ ප්රීති සොම්නසින්ම කලුරියකොට දෙව්ලොව ඉපිද එහි දිව්ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර ඉපදෙන්නේ ඉණිමං දන්දීමේ හේතුවෙන් උසස් කුලයක උපන්නේ මිනිස් සුව අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.