161. සුපාරිචරිය ථේර අපදාන වර්ණනාව
පදුමො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුපාරිවරිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද හිමාලයෙහි යක්ෂ සමාගමට ගියේ භාග්යවතුන් වහන්සේ දේව යක්ෂ ගාන්ධර්ව නාගයින්ට කළ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ දෑත් හකුලා අත්පොළසන් දුන්නේ ය. නමස්කාර ද කළේය. හේ ඒ පිනින් එයින් චුතව ඉහළ දෙව්ලොවක ඉපිද එහි දිව්ය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ආඪ්ය වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමොනාම නාමෙන’ යනාදිය කීහ. එහි පදුමො යනු යමකුගේ පාද තබන කල්හි පොළොව බිඳගෙන නෙළුම් පැනනැගී පාදතලය පිළිගනීද ඒ සංග්රහයෙන් ඒ භාග්යවතුන් වහන්සේ පදුම යයි ප්රසිද්ධ වූ සේක. මෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අභිප්රේතය. ඒ භාග්යවතුන් වහන්සේ පවනා වසන විහාරයෙන් නික්ම වන මැදට පිවිස ධර්මය දේශනා කරන සේක යනු සම්බන්ධයි.
යක්ඛානං සමයො යනු දේව සමාගම ආසි විය යන අර්ථයි. අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ යනු ඒ දේශනාව අවස්ථාවෙහි අතිශයින් අපේක්ෂා කළහ. විශේෂයෙන් දකිනසුලු වූහ යන අර්ථයි. සෙස්ස ප්රකට ම ය.
සුපාරිචරිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
162. කණවේරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් කණවෙර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්ර කුලයෙහි ඉපිද වැඩිවිය පත් ව රජුගේ අන්තඃපුර පාලකයා විය. එසමයෙහි සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා රජවීදියට පිළිපන් සේක. ඉක්බිති ඒ අන්තඃපුර පාලකයා ඇවිදින භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේව කණේරු මලකින් භාග්යවතුන් වහන්සේ පුදා නමස්කාර කරමින් සිටියේය. හේ ඒ පිනින් සුගති සම්පත්ව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පැමිණි අග්රඵල ඇත්තාහු පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘සිද්ධත්ථො නාම භගවා’ යනාදිය කීහ. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
කණවෙරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
163. ඛජ්ජදායක ථේර අපදාන වර්ණනාව
තිස්සස්ස ඛො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඛජ්ජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්ර කුලයෙහි ඉපිද භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ අඹදඹ ආදී මිහිරි කුදුමහත් පලද නෙරළු ද කැවුම් ද දුන්නේ ය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ ප්රසාදය වර්ධනය කරනු සඳහා බලා සිටියදීම වැළඳූ සේක. හේ ඒ පිනින් සුගති සම්පත්ම අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ ප්රසාද බහුමාන ඇත්තේ පැවිදි ව වත් පිළිවෙතින් සසුන බබුළුවන්නේ සිල් අබරණින් සැරසුණේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ පූර්ව කර්මය සිහි කරන්නාහු පෙර මා විසින් යහපත් කෙතක කරන ලද කුසලය සුන්දර යයි හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘තිස්සස්ස ඛො භගවතො’ යනාදිය කීහ. එහි තිස්සො යනු භාග්යවතුන් වහන්සේ සම්පත් දෙමින් උපන්නේනුයි මව්පියන් විසින් දෙන ලද නම් වශයෙන් තිස්ස නමි. නැතහොත් තුන් සරණාගමනයෙන් අස්වසන්නේ අවවාද දෙන්නේ හේතුසම්පත් ඇති පුද්ගලයන් සගමොක් දෙකෙහි පිහිටුවමින් උපන්නේනුයි තිස්ස නමි. සමාපත්ති සුබ ආදී වාසනාවන්ගෙන් යුක්තනුයි භගවා නමි. ඒ තිස්ස භාග්යවතුන් වහන්සේට මම පෙර පල දුනිමි යන අර්ථයි. නාලිකෙරඤ්ච අදාසිං යනු නාලිකාකාරයෙන් පැවැති ඵල නාලිකෝර ඵලනමි එය ද දුනිමි යන අර්ථයි. ඛජ්ජකං අභිසම්මතං යනු කෑයුතු දෙය ඛජ්ජක නමි. විශ්වාසයෙන් මීපැණි හකුරු ආදියෙන් මිශ්රකොට නිපදවන ලද මධුර යයි සුන්දරයයි සම්මතං දත්, අභිසම්මත වූ කැවිලි දුනිමි සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.