162. කණවේරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් කණවෙර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද වැඩිවිය පත් ව රජුගේ අන්තඃපුර පාලකයා විය. එසමයෙහි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා රජවීදියට පිළිපන් සේක. ඉක්බිති ඒ අන්තඃපුර පාලකයා ඇවිදින භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේව කණේරු මලකින් භාග්‍යවතුන් වහන්සේ පුදා නමස්කාර කරමින් සිටියේය. හේ ඒ පිනින් සුගති සම්පත්ව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පැමිණි අග්‍රඵල ඇත්තාහු පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සිද්ධත්‍ථො නාම භගවා’ යනාදිය කීහ. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
කණවෙරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
163. ඛජ්ජදායක ථේර අපදාන වර්ණනාව
තිස්සස්ස ඛො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඛජ්ජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ අඹදඹ ආදී මිහිරි කුදුමහත් පලද නෙරළු ද කැවුම් ද දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වර්ධනය කරනු සඳහා බලා සිටියදීම වැළඳූ සේක. හේ ඒ පිනින් සුගති සම්පත්ම අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ ප්‍රසාද බහුමාන ඇත්තේ පැවිදි ව වත් පිළිවෙතින් සසුන බබුළුවන්නේ සිල් අබරණින් සැරසුණේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ පූර්ව කර්මය සිහි කරන්නාහු පෙර මා විසින් යහපත් කෙතක කරන ලද කුසලය සුන්දර යයි හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තිස්සස්ස ඛො භගවතො’ යනාදිය කීහ. එහි තිස්සො යනු භාග්‍යවතුන් වහන්සේ සම්පත් දෙමින් උපන්නේනුයි මව්පියන් විසින් දෙන ලද නම් වශයෙන් තිස්ස නමි. නැතහොත් තුන් සරණාගමනයෙන් අස්වසන්නේ අවවාද දෙන්නේ හේතුසම්පත් ඇති පුද්ගලයන් සගමොක් දෙකෙහි පිහිටුවමින් උපන්නේනුයි තිස්ස නමි. සමාපත්ති සුබ ආදී වාසනාවන්ගෙන් යුක්තනුයි භගවා නමි. ඒ තිස්ස භාග්‍යවතුන් වහන්සේට මම පෙර පල දුනිමි යන අර්ථයි. නාලිකෙරඤ්ච අදාසිං යනු නාලිකාකාරයෙන් පැවැති ඵල නාලිකෝර ඵලනමි එය ද දුනිමි යන අර්ථයි. ඛජ්ජකං අභිසම්මතං යනු කෑයුතු දෙය ඛජ්ජක නමි. විශ්වාසයෙන් මීපැණි හකුරු ආදියෙන් මිශ්‍රකොට නිපදවන ලද මධුර යයි සුන්දරයයි සම්මතං දත්, අභිසම්මත වූ කැවිලි දුනිමි සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
ඛජ්ජදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
164. දෙසපූජක ථේර අපදාන වර්ණනාව
අත්‍ථදස්සිතු භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තාහු රත්නත්‍රය මාමක වූවාහු එකල්හි අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද සේක් චන්ද්‍රයා මෙන් ද සූර්යයා මෙන්ද අහසින් වඩනා සේක. ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ දිසාභාගය සුවඳමල් ආදියෙන් පූජා කරන්නේ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.
හේ ඒ පිනින් දෙව්ලොව ඉපිද ස්වර්ග සම්පත් අනුභවකොට මිනිසුන් අතර ද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදකාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ උපභෝග පරිභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදි ව වත් සහිත වූයේ නොබෝ කලකින් රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අත්‍ථදස්සිතු භගවා’ යනාදිය කීය. එය යට කියන ලද අරුත් ඇත්තේමය. අනිලඤ්ජසෙ යනු මග්ග පන්ථ පථ අඤ්ජස වටුමායන යන පර්යායයෙන් කියන ලද බැවින් අනිලඤ්ජස නමි. ඒ අනිලඤ්ජසෙ අහසෙහි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
165. කණිකාරච්ඡදනිය ථේර අපදාන වර්ණනාව
වෙස්සභු නාම සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් කණිකාර ඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ විය. එසමයෙහි වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් මහවනයට පිවිස වැඩහුන් සේක. ඉක්බිති ඒ උපාසකයා ද කිසියම් කටයුත්තක් සඳහා එහි ගොස් ගිනිකඳක් මෙන් බබලමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කිණිහිරි මලක් නෙළා ඡත්‍රයක් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන වියනක් තනා පූජා කළේය. එය භාග්‍යවතුන් වහන්සේගේ අනුහසින් සත්දිනක් නොමැළ වී එහි තිබිණ. භාග්‍යවතුන් වහන්සේද පලසමවතට සහ නිරෝධ සමාපත්තියට සමවැද වාසය කළ සේක. හේ ඒ අසිරිය දැක හටගත් සොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියෙන් නැගිට විහාරයටම වැඩම කළ සේක.