149. වටංසකිය ථේර අපදාන වර්ණනාව
සුමෙධො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් වටංසකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සුමෙධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව මහවෙනෙහි වාසය කළේය. එසමයෙහි සුමේධ භාග්යවතුන් වහන්සේ විවේක කැමති බැවින් ඒ වනයට වැඩි සේක. ඉක්බිති තවුසා භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ පිපුණු හොරමලක් ගෙන නළල් පළඳනාවක ආකාරයෙන් ගොතා භාග්යවතුන් වහන්සේගේ පාමුල පිදුවේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිත් පැහැදීම පිණිස අනුමෝදනා කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ පහන් වූයේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්විය.
ඉන්පසු කල පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුමෙධො නාම නාමෙන’ යනාදිය කීය. විවෙකමනූ බ්රෑහන්තො යනු ජනාකීර්ණ විහාරය අත්හැර විවේක සිත අනුබ්රෑහන්තො වඩන්නේ බහුල වශයෙන් කරන්නේ මහා වනයට අජ්ඣොගහි පිවිසි සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු ම ය.
වටංසකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
150. පල්ලඞ්කදායක ථේර අපදාන වර්ණනාව
සුමෙධස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයක ඉපිද වැඩිවිය පත්ව මහාභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ඒ ශාස්තෲන් වහන්සේට සත්රුවන්මුවා ආසනයක් තනවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ විය. හේ අනුක්රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා පැහැදුණේ පැවිදිව නොබෝ කලකින් රහත් බවට පැමිණ පෙර කරන ලද පිනෙහි නමින් පල්ලඞ්කදායක තෙරුන් වහන්සේ යයි ප්රකට විය. පෙර මෙන් පසුවද පෙර කරන ලද පිනෙහි නමින් තෙරුන් වහන්සේලාගේ නම් මේ අයුරින් දතයුතුය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘සුමෙධස්ස භගවතො’ යනාදිය කීහ. ‘පල්ලඞ්කොහි මයාදින්නො’ යනු පල්ලඞ්කං අරමිණියා ගොතාගෙන යම්තැනක උපදිසන්ති හිඳගනිත්ද එය පර්යංකයයි කියනු ලැබේ. ඒ සත්රුවන්මුවා පර්යංකය මා විසින් දින්නො පූජාකරන ලද්දේය යන අර්ථයි. සඋත්තරි ස පච්ඡදො යනු වියනින් හා පසුතිරයෙන් යුත් වූයේ සඋත්තරි සපච්ඡදො. උඩවියනක් බැඳ අසුන උතුම් වස්ත්රයෙන් වටකොට යන අර්ථයි. සෙස්ස ප්රකටමය.
පල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
පසළොස්වැනි වර්ග වර්ණනාව නිමියේය.
16. බන්ධුජීවක වර්ගය
151. බන්ධුජීවක ථේර අපදාන වර්ණනාව
චන්දංව විමලං සුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් බන්ධුජීවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගෘහවාසය තබා වාසය කරන්නාහු සිඛී භාග්යවතුන් වහන්සේගේ රූපකාය සම්පත්තිය දැක පැහැදුණු සිත් ඇතිව බඳු වදමල් ගෙන භාග්යවතුන් වහන්සේගේ පාමුල පූජා කළහ. භාග්යවතුන් වහන්සේ ඔහුගේ චිත්තප්රසාදය වර්ධනය කරනු පිණිස අනුමෝදනාව කළ සේක. හේ දිවි ඇති තාක් සිට ඒ පිනින් ම දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් ද මිනිසුන් අතර චක්රවර්ති ආදි සම්පත් ද අනුභවකොට මේ අපගේ සම්මා සම්බුදුරජාණන් උපන් කල්හි ගෘහපති කුලයෙහි ඉපිද රූපයෙන් ද යසසින් ද අග්රප්රාප්ත වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා සැදැහැ ගිහිගෙය අත්හැර පැවිදිවූයේ රහත්බවට පැමිණියේය.