150. පල්ලඞ්කදායක ථේර අපදාන වර්ණනාව
සුමෙධස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයක ඉපිද වැඩිවිය පත්ව මහාභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ඒ ශාස්තෲන් වහන්සේට සත්රුවන්මුවා ආසනයක් තනවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ විය. හේ අනුක්‍රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා පැහැදුණේ පැවිදිව නොබෝ කලකින් රහත් බවට පැමිණ පෙර කරන ලද පිනෙහි නමින් පල්ලඞ්කදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය. පෙර මෙන් පසුවද පෙර කරන ලද පිනෙහි නමින් තෙරුන් වහන්සේලාගේ නම් මේ අයුරින් දතයුතුය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුමෙධස්ස භගවතො’ යනාදිය කීහ. ‘පල්ලඞ්කොහි මයාදින්නො’ යනු පල්ලඞ්කං අරමිණියා ගොතාගෙන යම්තැනක උපදිසන්ති හිඳගනිත්ද එය පර්යංකයයි කියනු ලැබේ. ඒ සත්රුවන්මුවා පර්යංකය මා විසින් දින්නො පූජාකරන ලද්දේය යන අර්ථයි. සඋත්තරි ස පච්ඡදො යනු වියනින් හා පසුතිරයෙන් යුත් වූයේ සඋත්තරි සපච්ඡදො. උඩවියනක් බැඳ අසුන උතුම් වස්ත්‍රයෙන් වටකොට යන අර්ථයි. සෙස්ස ප්‍රකටමය.
පල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
පසළොස්වැනි වර්ග වර්ණනාව නිමියේය.
16. බන්‍ධුජීවක වර්‍ගය
151. බන්‍ධුජීවක ථේර අපදාන වර්ණනාව
චන්‍දංව විමලං සුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් බන්‍ධුජීවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගෘහවාසය තබා වාසය කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය සම්පත්තිය දැක පැහැදුණු සිත් ඇතිව බඳු වදමල් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාමුල පූජා කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ චිත්තප්‍රසාදය වර්ධනය කරනු පිණිස අනුමෝදනාව කළ සේක. හේ දිවි ඇති තාක් සිට ඒ පිනින් ම දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් ද මිනිසුන් අතර චක්‍රවර්ති ආදි සම්පත් ද අනුභවකොට මේ අපගේ සම්මා සම්බුදුරජාණන් උපන් කල්හි ගෘහපති කුලයෙහි ඉපිද රූපයෙන් ද යසසින් ද අග්‍රප්‍රාප්ත වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා සැදැහැ ගිහිගෙය අත්හැර පැවිදිවූයේ රහත්බවට පැමිණියේය.
උන්වහන්සේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණින් කරන ලද කුසලකර්මය අත්දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘චන්‍දංව විමලං සුද්ධං’ යනාදිය කීහ. එහි චන්‍දංව විමලං සුද්ධං යනු වලාකුළු මීදුම් දුම් දූලි රාහු යන උපක්ලේශ මලයෙන් විනිර්මුක්ත වූ චන්‍ද්‍රයා මෙන් එක්දහස් පන්සියයක් උපක්ලේශ මල ප්‍රහීණ කළ බැවින් විමල නමි. නික්ලේශී බැවින් සුද්ධං ප්‍රසන්න වූ සිඛී සම්බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. කෙලෙස් මඩ නැති බැවින් අනාවිලං නොකැළඹුණේ විය. නන්දිභව සංඛ්‍යාත වූ ඵල විශේෂයෙන් හාත්පසින් ක්‍ෂීණ වූ බැවින් නන්‍දිභවපරික්ඛීණං. තිණ්ණං ලොකෙ යනු ලෝකත්‍රයෙන් තිණ්ණං උත්තීර්ණ වූයේ අතික්‍රාන්ත වූයේ. විසත්තිකං යනු විසත්තිකා යනු තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැත්තේ යන අර්ථයි.
නිබ්බාපයන්තං ජනතං යනු ධර්මය නැමති වර්ෂාව වස්වන්නේ ජනතං ජන සමූහය කෙලෙස් පරිදාහ නැති බැවින් නිබ්බාපයන්තං ව්‍යුපසමනය කරන්නේ, තමා සංසාරයෙන් එතෙරවූයේ සියලු සත්ත්වයන් සංසාරයෙන් තාරයන්තං. එතෙර කරන්නේ චතුරාර්ය සත්‍යයන් දන්නා බැවින් මුනි නමි. සිඛී සම්බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. වනස්මිං ඣායමානං යනු ආරම්මණ උපනිජ්ඣාන ලක්ඛණ උපනිජ්ඣානයන්ගෙන් ඣායන්තං වනමැද සිතන්නේ යන අර්ථයි. එකග්ගං ඒකාග්‍ර වූ සිත. සුසමාහිතං මනා අරමුණෙහි ආහිතං තැබූ සිත සිඛී මුනිවරයන් වහන්සේ දැක යන සම්බන්ධයි.
බන්‍ධුජීවක පුප්ඵානි යනු බන්‍ධුනං ඥාතීන්ගේ ජීවිතං ජීවිතනිශ්‍රය වූ හදමස් ලේ බන්‍ධුජීවිතං හෘදයය. එවැනි වර්ණවත් මලක් ගෙන ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
බන්‍ධුජීවක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
152. තම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
පරකම්මායනෙයුත්තො යනාදී වශයෙන් ආයුෂ්මත් තම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මත් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කිසියම් පෙර කරන ලද අකුසල කර්මයකින් දුගී කුලයක ඉපිද වැඩිවිය පත්වූවාහු අනුන්ගේ කුලීවැඩ කොට ඒ කුලියෙන් ජීවිකාව කළහ. හේ මෙසේ දුකින් වසන්නේ අනුන්ට අපරාධකොට මරභයින් පළාගොස් වනයට පිවිසියේය. ඒ ගියතැන පළොල් බෝධිය දැක වැඳ හැමද එක් රුකක තඹවන් මල් දැක ඒ සියල්ල නටුවෙන් කඩා බෝධිපූජාවක් කළේය. එහි සිත පහදවා වැඳ පලක් බැඳ හුන්නේය. එකෙණෙහි ඒ මිනිස්සු පා අනුව ලුහුබැඳ එහි ගියාහුය. හේ ඔවුන් දැක බෝධිය ආවර්ජනය කරමින්ම පලා ගොස් භයානක වූ ගිරිදුර්ගයක ප්‍රපාතයට වැටී මිය ගියේය.