142. ථම්භාරෝපක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදී වශයෙන් ආයුෂ්මත් ථම්හාරොපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ ධම්මදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ඒ භාග්යවතුන් වහන්සේගේ ධාතුගර්භ මාලකයෙහි කොඩිගසක් නංවා එහි කොඩියක් එසවීය. බොහෝ දෑසමන් මල් ගොතා ඉණිමගින් ගොස් ස්තූපයෙහි පූජා කළේය.
හේ දිවි ඇතිතාක් සිට කලුරියකොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද බාල කාලයෙහි සිට පූජනීය වූයේ සසුනෙහි බැඳුණු සැදැහැ ඇත්තේ පැවිදිව පිළිසිඹියා සහිත කොට රහත් බවට පත්විය. පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. නිබ්බුතෙ ලොකනාථම්හි යනු සියලු ලොවට නාථෙ පිළිසරණ වූ ශාස්තෲන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවි කල්හි නිවුණු පහන් සිළුවක් මෙන් නොපෙනී ගියකල්හි යන අර්ථයි. ධම්මදස්සි නරාසහෙ යනු සිව්සස් දහම් දකීනුයි ධම්මදස්සී නමි. නැතහොත් සතිපට්ඨාන ආදී වූ බෝධිපාක්ෂික ධර්මයන් දස්සන සීලො දකිනසුලු වූයේනුයි ධම්මදස්සී නමි. නරයන්ට ප්රධානවූයේ පවරො උත්තම වූයේනුයි නරාසහො නමි. ඒ ධම්මදස්සි නරාසහයන් වහන්සේ කෙරෙහි ආරොපෙසිං ධජත්ථමහං යනු චෛත්ය මළුවෙහි කණුවක් සිටුවා එහි කොඩියක් ආරොපෙසිං බැඳ තැබුවෙමි යි අර්ථයි.
නිස්සෙණිං මාපයිත්වාන යන මේ නිසා තංඉනන්ති එයට යත්නුයි නගිත්නුයි නිස්සෙණි නමි. ඒ ඉණිමග මාපෙත්වා කරවා ශ්රේෂ්ඨ ස්තූපයට නගිත් යනු සම්බන්ධයි. ජාතිපුප්ඵං ගහෙත්වාන යනු උපදින්නාක් මෙන් ජනයන්ගේ සොඳුරු මනසක් කරානුයි ජාතිසුමනං. ජාතිසුමන වූයේ ද එම මලවූයේ ද ජාතිසුමන පුප්ඵං යනුවෙන් කියයුතු තන්හි ගාථාබන්ධන පහසුව පිණිස සුමන ශබ්දයට ලෝපයක් කොට ජාතිපුප්ඵං යනුවෙන් කියන ලදි. ඒ ජාතිසුමන මල් ගෙන ගොතා ස්තූපයෙහි නැංවූයෙමි. නංවා පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
ථම්හාරොපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
143. වේදිකාරක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධවේදික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පියදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි පැහැදුණේ උන්වහන්සේගේ චෛත්යයෙහි වළල්ලක් කරවීය. සත්රුවනින් පුරවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් සියදහස් ගණන් ජාතිවල පිදිය යුතු බවට පත්වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද විභව සම්පත් ඇත්තේ පැවිදි ව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
හේ එක් දවසක් කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හ’ යනාදිය කීය. එයට යට කියන ලද අර්ථ ඇත්තේමය. පියදස්සි නරුත්තමෙ යනු ප්රිය වූ සොම්නස් දනවන දර්ශනය යමකුගේද හේ පියදස්සි නමි. ආරෝම පරිණාහ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ අසූඅනූ ව්යංජන ව්යාමප්රභා මණ්ඩලයන්ගෙන් සාධු මහාජනයන්ගේ ප්රසාදය උපදවන ආකාර දර්ශනය යන අර්ථයි. නරයන්ට උත්තම වූයේ නරුත්තම නමි. පියදස්සි වූයේද හෙම නරුත්තම වූයේද පියදස්සි නරුත්තම නමි. ඒ පියදස්සි නරුත්තමයන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගර්භයෙහි මුතු වේදිකාවක් මම කෙළෙමි යන සම්බන්ධයි. මල් පූජාකිරීම පිණිස කෙළවර වේදිකා වළල්ලක් කෙළෙමි යන අර්ථයි.
මණීහි පරිවාරෙත්වා යනු මිනාති ප්රභාවන්ගෙන් බබලානුයි මණි නමි. නැතහොත් ජනයන්ගේ සිත පුරවන්නේ සොම්නස් කරන්නේ මෙයින් ගියේ පැවතියේනුයි මණි නමි. දෑරඟමැණික් වෙරළුමිණි ආදී නොයෙක් මැණික්වලින් කරන ලද වේදිකා වළල්ල වටා උතුම් වූ මහා පූජාවක් කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.