143. වේදිකාරක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධවේදික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පියදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි පැහැදුණේ උන්වහන්සේගේ චෛත්යයෙහි වළල්ලක් කරවීය. සත්රුවනින් පුරවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් සියදහස් ගණන් ජාතිවල පිදිය යුතු බවට පත්වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද විභව සම්පත් ඇත්තේ පැවිදි ව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
හේ එක් දවසක් කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හ’ යනාදිය කීය. එයට යට කියන ලද අර්ථ ඇත්තේමය. පියදස්සි නරුත්තමෙ යනු ප්රිය වූ සොම්නස් දනවන දර්ශනය යමකුගේද හේ පියදස්සි නමි. ආරෝම පරිණාහ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ අසූඅනූ ව්යංජන ව්යාමප්රභා මණ්ඩලයන්ගෙන් සාධු මහාජනයන්ගේ ප්රසාදය උපදවන ආකාර දර්ශනය යන අර්ථයි. නරයන්ට උත්තම වූයේ නරුත්තම නමි. පියදස්සි වූයේද හෙම නරුත්තම වූයේද පියදස්සි නරුත්තම නමි. ඒ පියදස්සි නරුත්තමයන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගර්භයෙහි මුතු වේදිකාවක් මම කෙළෙමි යන සම්බන්ධයි. මල් පූජාකිරීම පිණිස කෙළවර වේදිකා වළල්ලක් කෙළෙමි යන අර්ථයි.
මණීහි පරිවාරෙත්වා යනු මිනාති ප්රභාවන්ගෙන් බබලානුයි මණි නමි. නැතහොත් ජනයන්ගේ සිත පුරවන්නේ සොම්නස් කරන්නේ මෙයින් ගියේ පැවතියේනුයි මණි නමි. දෑරඟමැණික් වෙරළුමිණි ආදී නොයෙක් මැණික්වලින් කරන ලද වේදිකා වළල්ල වටා උතුම් වූ මහා පූජාවක් කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
බුද්ධවේදික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
144. සපරිවාරිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සපරිවාරිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ විය. ඉක්බිති පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහජනයා උන්වහන්සේගේ ධාතු නිධන්කොට මහත් වූ චෛත්යයක් කරවා පූජා කළේය. එකල්හි මේ උපාසකයා ඒ මතුපිට සඳුන් හරයෙන් චේතියඝරයක් කරවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව කුසල්කොට සැදැහැයෙන් සසුනෙහි පැවිදි ව නොබෝ කලෙකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාමජිනො’ යනාදිය කීහ. එහි ඔමත්තං යනු ලාමක බවයි. නීච බවක් හෝ නොදකිමි නොදනිමි මා විසින් නීචත්වයක් නුදුටු විරූය යන අර්ථයි. සෙස්ස ප්රකටමය.
සපරිචාරිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
145. උම්මාපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් උම්මාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ පිරිනිවි භාග්යවතුන් වහන්සේගේ චෛත්ය උත්සවය පවත්නා කල්හි ඉන්ද්රනීල මාණික්යයක වර්ණය ඇති දියබෙරලිය මලක් ගෙන පූජා කළේය. හේ ඒ පිනින් සුගතීන්හි පමණක් සැරිසරන්නේ දිව්ය මනුෂ්ය සම්පත් අනුභවකොට උපනුපන් භවයෙහි බෙහෙවින් නීලවර්ණ වූයේ ජාතිසම්පන්න වූයේ විභව සම්පන්න වූයේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නිබ්බුතෙ ලොක මහිතෙ’ යනාදිය කීහ. එහි ලොක මහිතෙ යනු ලෝකයා විසින් මහිතො යනු ලෝකයා විසින් ගරුකරනු ලැබීය. පූජා කරනු ලැබීයයි ලොකමහිතො නමි. ඒ ලෝකමහිත වූ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යනු සම්බන්ධයි. ආහුතීනං පටිග්ගහෙ යනු ආහුතිනො යනු ප්රජාසත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. අලුප්න කෘදන්ත සමාසයයි. ඒ පූජාසත්කාර පිළිගන්නා භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි.