141. අතිඡත්තිය ථේර අපදාන වර්ණනාව
පරිනිබ්බුතෙ භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් ජත්තාධිඡත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ජීවත්ව සිටි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අහෝ මාගේ පරිහානිය යයි සිතා මාගේ උත්පත්තිය සඵල කරන්නෙමි යි කරන ලද සනිටුහන් ඇත්තේ ඡත්‍රයක් කරවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ධාතු ගර්භය පිදීය. පසුකලක මල්කූඩයක් කරවා එම ධාතු ගර්භයට පිදුවේය. හේ එම ඡත්‍රාධිඡත්‍රදාන පිනින් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව කමටහන් ගෙන උත්සාහ කරන්නේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියහ.
පසුකලෙක උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පරිනිබ්බුතෙ භගවති’ යනාදිය කීහ. එහි ඡත්තාධිඡත්තං යනු ඡාදීයති අව්ව ආදිය වසනු ලැබේනුයි ඡත්ත නමි. ඡත්තස්ස අධිඡත්තං ඡත්‍රයට උඩින් කරන ලද ඡත්‍රය ඡත්තාධිඡත්තං යන අර්ථයි. ථුපම්හි අභිරොපයිං යනු ථුපීයති රැස් කෙරේනුයි ථූප නමි. නැතහොත් ථූපෙති ස්ථිර භාවයෙන් වෘද්ධියට වර්ධනයට විශාලත්වයට පැමිණෙමින් පිහිටානුයි ථූපනමි. ඒ ස්තූපයෙහි මා විසින් කරවන ලද ඡත්‍රය මතුමත්තෙහි තැබීම් වශයෙන් විශ්වාසයෙන් යුතුව ආරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
පුප්ඵඡදනං කත්‍වාන යනු පිපුණු සුවඳ හමන නොයෙක් මලින් ජදනං ඡත්‍රය ඉහළින් වියනක් කොට පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ඡත්තාධිඡත්තිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
142. ථම්භාරෝපක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදී වශයෙන් ආයුෂ්මත් ථම්හාරොපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුගර්භ මාලකයෙහි කොඩිගසක් නංවා එහි කොඩියක් එසවීය. බොහෝ දෑසමන් මල් ගොතා ඉණිමගින් ගොස් ස්තූපයෙහි පූජා කළේය.
හේ දිවි ඇතිතාක් සිට කලුරියකොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද බාල කාලයෙහි සිට පූජනීය වූයේ සසුනෙහි බැඳුණු සැදැහැ ඇත්තේ පැවිදිව පිළිසිඹියා සහිත කොට රහත් බවට පත්විය. පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. නිබ්බුතෙ ලොකනාථම්හි යනු සියලු ලොවට නාථෙ පිළිසරණ වූ ශාස්තෲන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවි කල්හි නිවුණු පහන් සිළුවක් මෙන් නොපෙනී ගියකල්හි යන අර්ථයි. ධම්මදස්සි නරාසහෙ යනු සිව්සස් දහම් දකීනුයි ධම්මදස්සී නමි. නැතහොත් සතිපට්ඨාන ආදී වූ බෝධිපාක්‍ෂික ධර්මයන් දස්සන සීලො දකිනසුලු වූයේනුයි ධම්මදස්සී නමි. නරයන්ට ප්‍රධානවූයේ පවරො උත්තම වූයේනුයි නරාසහො නමි. ඒ ධම්මදස්සි නරාසහයන් වහන්සේ කෙරෙහි ආරොපෙසිං ධජත්‍ථමහං යනු චෛත්‍ය මළුවෙහි කණුවක් සිටුවා එහි කොඩියක් ආරොපෙසිං බැඳ තැබුවෙමි යි අර්ථයි.