137. අත්ථසන්දස්සක ථේර අපදාන වර්ණනාව
විසාල මාලෙ ආසීනො යනාදි වශයෙන් ආයුෂ්මත් අත්ථසන්දස්සක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ආත්ම භාවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නැති බව දැන ගිහිගෙය අත්හැර හිමවතට ගොස් රමණීය ස්ථානයක පන්සලක් කොට වාසය කරයි. එකල්හි සත්වානුකම්පාවෙන් පදුමුත්තර භාග්යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පහන් සිතැත්තේ පසඟ පිහිටුවා වැඳ ස්තුති වචනයන්ගෙන් ප්රශංසා කළේය. හේ ඒ පිනින් දිවි ඇතිතෙක් සිට කලුරියකොට බ්රහ්ම ලෝකයට පැමිණියේ විය. හේ පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව රහත්බවට පත්විය.
ඉන්පසු උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘විසාල මාලෙ ආසීනො’ යනාදිය කීහ. එහි විසාල මාලෙ යනු විසාල පැතිරුණු විස්තීර්ණ වූ මහා මල් ඇත්තේ යම් තැනකද එය විසාලමාලා නමි. ඒ විසාල මාලයෙහි. ආසීනො හුන් මම ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
අත්ථසන්දස්සක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
138. ඒකපසාදනිය ථේර අපදාන වර්ණනාව
නාරදො ඉති මෙ නාමං යනාදි වශයෙන් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි කරන ලද කුසල් ඇත්තේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද කේසව යයි ප්රකට වූයේ වී දැනමිති බවට පැමිණ ගෘහවාසය අත්හැර පැවිදිව පැවිදි සුවෙන් වසයි. හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ඇඳිලිබැඳ අතිශයින් හටගත් ප්රීති සොම්නස් ඇත්තේ පෙරදිග දෙසට ගියේය. හේ දිවි ඇති තෙක් සිට ඒ සොම්නසින්ම කලුරියකොට දෙවියන් අතර ඉපිද එහි දිව්ය සම්පත් අනුභව කොට මිනිසුන් අතර ඉපිද එහි මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවියපත් වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ කළ කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නාරදො ඉති මෙ නාමං’ යනාදිය කීහ. එහි නාරදො යනු ජාති වශයෙන් පිරිසිදු ශරීර ඇත්තේ, මොහුගේ සිතෙහි රජස් දූලි නැත්තේනුයි නාරද නමි. ජ කාරයට ද කාර ආදේශය. නාරද යනු කුලයෙන් දෙන ලද නමයි. කෙසවො යනු කිසවච්ඡ ගෝත්රයෙහි උපන් බැවින් කෙසවනමි. නාරද කේසව යනුවෙන් ජනයා මා විදූ දනිතියි අර්ථයි. සෙස්ස ප්රකටමය.
එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
139. සාලපුප්ඵදායක ථේර අපදාන වර්ණනාව
මිගරාජා තදා ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද කුසල් රැස්කිරීම් ඇත්තේ කිසියම් කර්ම දෝෂයකින් හිමවතෙහි සිංහ යෝනියෙහි ඉපිද නොයෙක් සිංහයන් පිරිවර කොට වාසය කළේය. එකල්හි සිඛී භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. සිංහයා උන්වහන්සේ පැමිණි බව දැක පහන් සිතැත්තේ සල් අත්තක් බිඳ නටුව සහිත සල්මලක් ගෙන පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව රහත් බවට පත්වූයේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘මිගරාජා තදා ආසිං’ යනාදිය කීය. එහි මරණයට යත්නුයි මිගා, ගොදුරු මග්ගන්ත සොයත්නුයි මිගා, මුවන්ගේ රජ මිගරාජා. සියලු සිව්පාවුන්ට රජබව ඇතිකල්හිද ගාථා බන්ධන පහසුව පිණිස මිගෙ ආදිකොට මිගරාජා යයි කියන ලදි. භාග්යවතුන් වහන්සේ දැක මල් සහිත සල් අත්තක් බිඳ පූජා කෙළෙමි. එකල්හි මම මුවරජ වීමි යන අර්ථයි.