138. ඒකපසාදනිය ථේර අපදාන වර්ණනාව
නාරදො ඉති මෙ නාමං යනාදි වශයෙන් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි කරන ලද කුසල් ඇත්තේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද කේසව යයි ප්රකට වූයේ වී දැනමිති බවට පැමිණ ගෘහවාසය අත්හැර පැවිදිව පැවිදි සුවෙන් වසයි. හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ඇඳිලිබැඳ අතිශයින් හටගත් ප්රීති සොම්නස් ඇත්තේ පෙරදිග දෙසට ගියේය. හේ දිවි ඇති තෙක් සිට ඒ සොම්නසින්ම කලුරියකොට දෙවියන් අතර ඉපිද එහි දිව්ය සම්පත් අනුභව කොට මිනිසුන් අතර ඉපිද එහි මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවියපත් වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ කළ කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නාරදො ඉති මෙ නාමං’ යනාදිය කීහ. එහි නාරදො යනු ජාති වශයෙන් පිරිසිදු ශරීර ඇත්තේ, මොහුගේ සිතෙහි රජස් දූලි නැත්තේනුයි නාරද නමි. ජ කාරයට ද කාර ආදේශය. නාරද යනු කුලයෙන් දෙන ලද නමයි. කෙසවො යනු කිසවච්ඡ ගෝත්රයෙහි උපන් බැවින් කෙසවනමි. නාරද කේසව යනුවෙන් ජනයා මා විදූ දනිතියි අර්ථයි. සෙස්ස ප්රකටමය.
එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
139. සාලපුප්ඵදායක ථේර අපදාන වර්ණනාව
මිගරාජා තදා ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද කුසල් රැස්කිරීම් ඇත්තේ කිසියම් කර්ම දෝෂයකින් හිමවතෙහි සිංහ යෝනියෙහි ඉපිද නොයෙක් සිංහයන් පිරිවර කොට වාසය කළේය. එකල්හි සිඛී භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. සිංහයා උන්වහන්සේ පැමිණි බව දැක පහන් සිතැත්තේ සල් අත්තක් බිඳ නටුව සහිත සල්මලක් ගෙන පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව රහත් බවට පත්වූයේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘මිගරාජා තදා ආසිං’ යනාදිය කීය. එහි මරණයට යත්නුයි මිගා, ගොදුරු මග්ගන්ත සොයත්නුයි මිගා, මුවන්ගේ රජ මිගරාජා. සියලු සිව්පාවුන්ට රජබව ඇතිකල්හිද ගාථා බන්ධන පහසුව පිණිස මිගෙ ආදිකොට මිගරාජා යයි කියන ලදි. භාග්යවතුන් වහන්සේ දැක මල් සහිත සල් අත්තක් බිඳ පූජා කෙළෙමි. එකල්හි මම මුවරජ වීමි යන අර්ථයි.
සකෙටං පුප්ඵමාහරිං යනු නටුව සහිත (සකන්තිකං) සල්මල ආහරිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේමය.
සාලපුප්ඵදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
140. පියාලඵලදායක ථේර අපදාන වර්ණනාව
පරොධකො තදා ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් පියාලඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වැදි කුලයෙහි ඉපිද හිමවතෙහි එක් බෑවුමක මුවන් මරා ජීවිකාව කරමින් වාසය කරයි. එකල්හි එහි පැමිණි සිඛී භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ උදය සවස නමස්කාර කරමින් කිසියම් දියයුතු දෙයක් නොදක්නේ මිහිරි මොරගෙඩි නෙලා දුන්නේ ය. භාග්යවතුන් වහන්සේ ඒවා වැළඳූ සේක. ඒ වැද්දා බුද්ධාලම්බන ප්රීතියෙන් නිරන්තරයෙන් පිරුණු සිරුරු ඇත්තේ පාප කර්මයෙහි නොඇලුණු සිත් ඇත්තේ මුල්පල ආහාර කොටගෙන බොහෝ කලකින් කලුරියකොට දෙව්ලොව උපන්නේ ය.
හේ එහි දිව්ය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය පිහිටුවා එහි නොඇලුණේ ගිහිගෙය අත්හැර ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින් රහත් බවට පැමිණියේ තමා විසින් කරන ලද ඵලදාන කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පරොධකො තදා ආසිං’ යනාදිය කීය. එහිදී මම පියල් පලයක් දී සිත් පැහැදවීමි. එකල්හි මම වැද්දෙක් වීමි යනු සම්බන්ධයි. පරොධකො යනු පරසත්ත රොධකො පර සත්ත්වයන්ට වෙහෙස ගෙන දෙන්නෙක්. පරරොධකො යනුවෙන් කියයුතු තන්හි පූර්ව රකාරය ලොප් කොට පරොධකො යනුවෙන් කියන ලදි.
පරිචාරිං විනායකං යනු නිර්වාණයට පමුණුවන ශාස්තෲන් වහන්සේට, ස්වාමීනි, මේ ඵලය වළඳනු මැනවැයි පැවරීමි. නිමන්තෙසිං ආරාධනය කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
පියාලඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දස සතරවැනි වර්ග වර්ණනාව නිමියේය.
15. ඡත්ත වර්ගය
141. අතිඡත්තිය ථේර අපදාන වර්ණනාව
පරිනිබ්බුතෙ භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් ජත්තාධිඡත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ජීවත්ව සිටි භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අහෝ මාගේ පරිහානිය යයි සිතා මාගේ උත්පත්තිය සඵල කරන්නෙමි යි කරන ලද සනිටුහන් ඇත්තේ ඡත්රයක් කරවා ඒ භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ධාතු ගර්භය පිදීය. පසුකලක මල්කූඩයක් කරවා එම ධාතු ගර්භයට පිදුවේය. හේ එම ඡත්රාධිඡත්රදාන පිනින් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව කමටහන් ගෙන උත්සාහ කරන්නේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියහ.