129. ගන්‍ධපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණො සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවල කරන ලද පින්රැස් ඇත්තේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද උපභෝග පරිභෝගයන් ගෙන් අනූන වූයේ එක් දවසක් විපස්සි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් සමග වැඩහිඳිනු දැක පැහැදුණු සිතැත්තේ ලදපස්මලින් පූජා කළේය. හේ එම සිත් පැහැදීමෙන් දිවි ඇති තෙක් සිට එයින් දෙව්ලොව උපන්නේ දිව්‍ය සම්පත් අනුභවකොට පසුකලෙක මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය.
හේ එක් දවසක් පෙර කරන ලද පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ මේ කුසලයෙන් මම නිවනට පැමිණියේ වෙමි යි පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුවණ්ණ වණ්ණො සම්බුද්ධො’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ගන්‍ධපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
130. පදුමපූජක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කොට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් අවවාද අනුශාසනා නොලැබ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත නොදුරෙහි ගෝතමක නම් පර්වතය ඇසුරුකොට ධ්‍යාන සුවයෙන් ම වාසය කළේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වනහන්සේ බුදුව සත්ත්වයන් සසරින් ගොඩලමින් වාසය කරන සේක. ඉක්බිති ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. තාපසයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ස්වකීය ශිෂ්‍යයන් කැඳවා ඔවුන් ලවා නෙළුම් මල් ගෙන්වාගෙන පූජා කළේය. ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘හිමවන්තස්ස අවිදුරෙ’ යනාදිය කීහ. ගොතමො නාම පබ්බතො යනු නොයෙක් යකුන් හා දෙවියන්ට නිවාසයක් වූ බැවින් අධිෂ්ඨාන වශයෙන් ගෝතමගේ භවන වූ බැවින් ගෝතමයයි ප්‍රකට වූයේ විය. නානාරුක්ඛෙහි සඤ්ජන්නො යනු වැඩේනුයි පිහිටානුයි රුක්ඛ නමි. නැතහොත් පොළොව හාරමින් උඩට නැගේනුයි රුක්ඛ නමි. නානා අනේකප්‍රකාර සපු කපුරු නා අගිල් සඳුන් ආදී රුක්නුයි නානාරුක්ඛා. එයින් සඤ්ජන්නො ප්‍රකීර්ණ වූ ගෝතම පර්වතය යනු සම්බන්ධයි. මහාභූතගණාලයො යනු වෙත්නුයි ජායන්ති උපදිත්නුයි වැඩෙත්නුයි භූත නමි. මහත් වූ ඒ භූතයෝ ද මහාභූත නමි. මහාභූතයන්ගේ ගණො සමූහය මහාභූතගණො නමි. මහාභූත ගණයාගේ ආලයය මහාභූත ගණාලය නමි.
වෙමජ්ඣම්හිච තස්සාසී යනු ඒ ගෝතම පර්වතයෙහි වෙමජ්ඣෙ අභ්‍යන්තරයෙහි ආශ්‍රමයක් අභිනිම්මිතො නිෂ්පාදනය කරන ලද්දේ ය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දහතුන්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
14. සෝභිත වර්‍ගය
131. සෝභිත ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය පිහිටුවා එක් දවසක් ශාස්තෲන් වහන්සේ විසින් දහම් දෙසනු ලබන කල්හි උන්වහන්සේ කෙරෙහි පැහැදුනු සිතැත්තේ නොයෙක් ආකාරයෙන් ස්තුති කළේය. හේ එම සොම්නසින් ම කලුරිය කොට දෙවියන් අතර උපන්නේ එහි දිව්‍යසැප අනුභවකොට මිනිසුන් අතර මිනිස් සැපද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක උපන්නේ සත්හැවිරිදි වියෙහිදී ම පැවිදිව නොබෝ කලකින් ෂට් අභිඥා සහිතව රහත් විය.