130. පදුමපූජක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කොට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් අවවාද අනුශාසනා නොලැබ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත නොදුරෙහි ගෝතමක නම් පර්වතය ඇසුරුකොට ධ්‍යාන සුවයෙන් ම වාසය කළේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වනහන්සේ බුදුව සත්ත්වයන් සසරින් ගොඩලමින් වාසය කරන සේක. ඉක්බිති ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. තාපසයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ස්වකීය ශිෂ්‍යයන් කැඳවා ඔවුන් ලවා නෙළුම් මල් ගෙන්වාගෙන පූජා කළේය. ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘හිමවන්තස්ස අවිදුරෙ’ යනාදිය කීහ. ගොතමො නාම පබ්බතො යනු නොයෙක් යකුන් හා දෙවියන්ට නිවාසයක් වූ බැවින් අධිෂ්ඨාන වශයෙන් ගෝතමගේ භවන වූ බැවින් ගෝතමයයි ප්‍රකට වූයේ විය. නානාරුක්ඛෙහි සඤ්ජන්නො යනු වැඩේනුයි පිහිටානුයි රුක්ඛ නමි. නැතහොත් පොළොව හාරමින් උඩට නැගේනුයි රුක්ඛ නමි. නානා අනේකප්‍රකාර සපු කපුරු නා අගිල් සඳුන් ආදී රුක්නුයි නානාරුක්ඛා. එයින් සඤ්ජන්නො ප්‍රකීර්ණ වූ ගෝතම පර්වතය යනු සම්බන්ධයි. මහාභූතගණාලයො යනු වෙත්නුයි ජායන්ති උපදිත්නුයි වැඩෙත්නුයි භූත නමි. මහත් වූ ඒ භූතයෝ ද මහාභූත නමි. මහාභූතයන්ගේ ගණො සමූහය මහාභූතගණො නමි. මහාභූත ගණයාගේ ආලයය මහාභූත ගණාලය නමි.
වෙමජ්ඣම්හිච තස්සාසී යනු ඒ ගෝතම පර්වතයෙහි වෙමජ්ඣෙ අභ්‍යන්තරයෙහි ආශ්‍රමයක් අභිනිම්මිතො නිෂ්පාදනය කරන ලද්දේ ය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දහතුන්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
14. සෝභිත වර්‍ගය
131. සෝභිත ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය පිහිටුවා එක් දවසක් ශාස්තෲන් වහන්සේ විසින් දහම් දෙසනු ලබන කල්හි උන්වහන්සේ කෙරෙහි පැහැදුනු සිතැත්තේ නොයෙක් ආකාරයෙන් ස්තුති කළේය. හේ එම සොම්නසින් ම කලුරිය කොට දෙවියන් අතර උපන්නේ එහි දිව්‍යසැප අනුභවකොට මිනිසුන් අතර මිනිස් සැපද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක උපන්නේ සත්හැවිරිදි වියෙහිදී ම පැවිදිව නොබෝ කලකින් ෂට් අභිඥා සහිතව රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියූ පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
සොභිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
132. සුදස්සන ථේර අපදාන වර්ණනාව
විත්‍ථතාය නදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා වසන්නේ විත්‍ථතා නම් ගංගාව සමීපයෙහි (පිලක්ඛුඵලිතං) පලදරන පුලිල ගසක් සොයන්නේ ඒ ඒ ගංගා කීරයෙහි දැල්වෙන ගින්නක් මෙන් වැඩහුන් සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැටකේ මලක් නටුව සමගම කඩා පුදමින් මෙසේ කීය. ස්වාමීනි, යම් ඥානයකින් ඔබවහන්සේ මෙසේ මහානුභාව සම්පන්නව, සර්වඥ බුදුවරයෙක් වූ සේක්ද ඒ ඥානය මම පුදමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර ඉපිද උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමා කරන කුසල සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘විත්‍ථතාය නදීතීරෙ’ යනාදිය කීහ. එහි විත්‍ථතාය යනු විත්‍ථරති පැතිරේ, විස්තීර්ණ වේනුයි විත්‍ථතා නමි. නදන්ති ශබ්ද කෙරෙත්නුයි ඉතා ගියාහු පැවතියාහුය නදී නමි. එයට පැමිණ තරණය කළාහු තීරං නමි. ඒ නදියෙහි තීරය සමීපයෙහි යන අර්ථයි. කෙතකං පුප්ඵිතං දිස්වා පහත් අයුරින් ගන්නවුන්ගේ අත කටු ඇනේනුයි කෙත නමි. කේතගේ මෙයනුයි කෙතකංපුප්ඵං. එය දැක නටුව කඩා යනු සම්බන්ධයි.
සිඛිනො ලොකබන්‍ධුනො යනු සිඛී යනු ගින්නයි. ගිනි හා සමාන නීලපීත ආදී භේදයෙන් යුතු දිලෙන සවණක් රැස් යමකුට වේද හේ සිඛී නමි. ඒ ලොකස්ස සියලු තුන්ලෝකයෙහි බන්‍ධු ඥාතියා යනු ලොකබන්‍ධු නමි. ඒ ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට වැටකේ මලක් නටුවෙන් කඩා පිදුවෙමි යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සුදස්සන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
133. චන්‍දනපූජක ථේර අපදාන වර්ණනාව
චන්‍දභාගා නදී තීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් චන්‍දනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත චන්‍දභාගා නදිය සමීපයෙහි කින්නර යෝනියෙහි ඉපිද මල් අනුභව කරන්නේ මල් හඳින්නේ සඳුන් අගිල් ආදියෙහි සුවඳින් විභූෂිත වූයේ හිමවතෙහි බූමාටු දෙවියකු මෙන් උයන් දියකෙළි ආදී නොයෙක් සැප අනුභව කරමින් වාසය කළේය. එකල්හි අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩ අහසින් බැස සඟල සිවුර පනවා වැඩහුන් සේක. ඒ කිඳුරා ඒ භාග්‍යවතුන් වහන්සේ බබලමින් එහි වැඩහිඳිනු දැක පහන් සිතැත්තේ සුවඳ සඳුනින් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.