126. කුසුමාසනිය ථේර අපදාන වර්ණනාව
නගරෙ ධඤ්ඤවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් කුසුමාසනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ තුන්වේදයෙහි පරතෙරට පැමිණියේ බ්රාහ්මණ ශිල්පයන්හි කෙළ පැමිණියේ ස්වකීය හා පර සමයෙහි දක්ෂ වූයේ මවුපියන් පුදනු කැමැත්තේ උපුල්මල් කලප් පහක් තමාගේ සමීපයෙහි තබා හුන්නේය. එකල්හි භික්ෂු සංඝයා පිරිවරාගත් විපස්සි භාග්යවතුන් වහන්සේ වඩිනු දැක නීල පීත ආදී ඝන බුදුරැස් දැක පහන් සිතැත්තේ අසුන් පනවා එහි ඒ මල් අතුරා භාග්යවතුන් වහන්සේ එහි හිඳුවා ස්වකීය ගෘහයෙහි මව පිණිස පිළියෙල කරන ලද සියලු කෑයුතු දෑද බිය යුතු දෑද ගෙන සපිරිවර භාග්යවතුන් වහන්සේ තම අතින් සන්තර්පණය කරන්නේ වැළඳවීය. වළඳා අවසන්හි එක් උපුල්මල් අතක් දුන්නේය. එයින් හටගත් සොම්නස් ඇත්තේ ප්රාර්ථනයක් කළේය. භාග්යවතුන් වහන්සේද අනුමෝදනාව කොට වැඩි සේක. හේ ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇත් එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ භෝගයෙන්ද යසසින්ද වැඩුණේ කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක පෙර කරන ලද කුසල පූර්වේනිවාස ඥානයෙන් සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නගරෙ ධඤ්ඤවතියා’ යනාදිය කීහ. ධන්ය පුණ්යවන්ත වූ ක්ෂත්රිය බ්රාහ්මණ ගෘහපති මහාසාරයන්ට නොයෙක් කුලයන්ට ආකර වූ බැවින් ධඤ්ඤවතී නමි. නැතහොත් මුතුමැණික් ආදී සත්රුවන්වලට සප්තවිධ ධාන්යයන්ට උපභෝග, පරිභෝග සම්පත්තීන්ට ආකර බැවින් ධඤ්ඤවතී නමි. නැතහොත් ධඤ්ඤානං බුදු පසේබුදු රහතුන්ගේ වසනට්ඨානං ආරාම විහාර ආදී නව ආකාර වූ බැවින් ධඤ්ඤවතී නමි. ඒ ධන්යවතී නුවරෙහි නගරං යනු රජ යුවරජ මහාමාත්යාදීන්ගේ වසන ස්ථානය නගර නමි. ආඤ්ඤාති ගනීනුයි නගර නමි. රාජ ආදීන්ගේ වසනස්ථානභූත වූ ප්රාකාර පරීක්ෂේප ආදියෙන් පරික්ඛිත්තං සැඟවුණු තැන නගර නමැයි අර්ථයි. ඒ නගරයෙහි යම්කලෙක මම විපස්සි භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි විවරණ ලැබුවෙමි. එකල්හි ඒ ධඤ්ඤවතී නගරයෙහි බ්රාහ්මණයෙක් වීමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරුමය.
කුසුමාසනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
127. ඵලදායක ථේර අපදාන වර්ණනාව
අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කර ඇත්තේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ත්රිවේදය ආදී ස්වකීය ශිල්පයන්හි පරතෙරට පැමිණියේ නොයෙක් බමුණන් දහස් ගණනකට ප්රධාන ආචාර්යවරයා වීය. තමාගේ ශිල්පයන්හි කෙළවරක් නොදැක එහිද හරයක් නොදක්නේ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදි ව හිමවත නුදුරෙහි අසපුවක් කරවා ශිෂ්යයන් සමග වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙමින් ඔහුට අනුකම්පා පිණිස ඒ පෙදෙසට සම්ප්රාප්ත වූ සේක. තාපසයා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තමාගේ ප්රයෝජනය පිණිස බෙණයක තබා ගස් මුදුනෙහි තැබූ මිහිරි වූ පදුමපල මීපැණි සමග දුන්නේය. භාග්යවතුන් වහන්සේ ඔහුට සොම්නස දනවනු පිණිස ඔහු බලා සිටියදී ම වළඳා අහසෙහි වැඩසිටි සේක් ඵලදානයෙහි අනුසස් වදාරා වැඩි සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරමින් උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද සත්හැවිරිදි ව සිටිය දී ම රහත්බවට පත්ව පෙර කරන ලද කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ අජ්ඣායකො මන්තධරො යනාදිය කීය. එහි අජ්ඣෙති සිතානුයි අජ්ඣායී නමි. හේ ම අජ්ඣායක නමි. මෙහිදී අකාරය ‘ප්රතිෂේධ වෘද්ධි තද්භාවයෙහි -පෙ- අකාරො වෙන්කෙරේනුයි මෙසේ කියන ලද අර්ථ කියූ කල්හි තද්භාවයෙහි පවතී. ශිෂ්යයන්ගේ ශ්රවණ ධාරණ ආදි වශයෙන් යහපත අජ්ඣෙති සිතයි අධ්යයනය කරයිනුයි අජ්ඣායක නමි. සිතන්නා යන අර්ථයි. ගුරුවරයා හමුවෙහි උගත් සියලු මන්ත්ර මනසින් ධාරෙති පවත්වා ගනීනුයි මන්තධර නමි. තිණ්ණං වෙදානංපාරගු යනු වේදය යනු ඥානයයි කියනු ලැබේ. වේදයෙන් වෙදිතබ්බා දතයුතු වූයේ වෙද නමි. සෘග්වේද යජුර්වේද සාමවේද සංඛ්යාත වූ ග්රන්ථ තුන. එම වේදයන්ගේ පාරං අවසානයට කෙළවරට පැමිණියේනුයි පාරගූ නමි. සෙස්ස ප්රකට ම ය.