127. ඵලදායක ථේර අපදාන වර්ණනාව
අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කර ඇත්තේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ත්රිවේදය ආදී ස්වකීය ශිල්පයන්හි පරතෙරට පැමිණියේ නොයෙක් බමුණන් දහස් ගණනකට ප්රධාන ආචාර්යවරයා වීය. තමාගේ ශිල්පයන්හි කෙළවරක් නොදැක එහිද හරයක් නොදක්නේ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදි ව හිමවත නුදුරෙහි අසපුවක් කරවා ශිෂ්යයන් සමග වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙමින් ඔහුට අනුකම්පා පිණිස ඒ පෙදෙසට සම්ප්රාප්ත වූ සේක. තාපසයා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තමාගේ ප්රයෝජනය පිණිස බෙණයක තබා ගස් මුදුනෙහි තැබූ මිහිරි වූ පදුමපල මීපැණි සමග දුන්නේය. භාග්යවතුන් වහන්සේ ඔහුට සොම්නස දනවනු පිණිස ඔහු බලා සිටියදී ම වළඳා අහසෙහි වැඩසිටි සේක් ඵලදානයෙහි අනුසස් වදාරා වැඩි සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරමින් උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද සත්හැවිරිදි ව සිටිය දී ම රහත්බවට පත්ව පෙර කරන ලද කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ අජ්ඣායකො මන්තධරො යනාදිය කීය. එහි අජ්ඣෙති සිතානුයි අජ්ඣායී නමි. හේ ම අජ්ඣායක නමි. මෙහිදී අකාරය ‘ප්රතිෂේධ වෘද්ධි තද්භාවයෙහි -පෙ- අකාරො වෙන්කෙරේනුයි මෙසේ කියන ලද අර්ථ කියූ කල්හි තද්භාවයෙහි පවතී. ශිෂ්යයන්ගේ ශ්රවණ ධාරණ ආදි වශයෙන් යහපත අජ්ඣෙති සිතයි අධ්යයනය කරයිනුයි අජ්ඣායක නමි. සිතන්නා යන අර්ථයි. ගුරුවරයා හමුවෙහි උගත් සියලු මන්ත්ර මනසින් ධාරෙති පවත්වා ගනීනුයි මන්තධර නමි. තිණ්ණං වෙදානංපාරගු යනු වේදය යනු ඥානයයි කියනු ලැබේ. වේදයෙන් වෙදිතබ්බා දතයුතු වූයේ වෙද නමි. සෘග්වේද යජුර්වේද සාමවේද සංඛ්යාත වූ ග්රන්ථ තුන. එම වේදයන්ගේ පාරං අවසානයට කෙළවරට පැමිණියේනුයි පාරගූ නමි. සෙස්ස ප්රකට ම ය.
ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
128. ඤාණසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වහයෙන් ආයුෂ්මත් ඤාණසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත නුදුරෙහි පන්සලක් කරවා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා වසන්නේ එක් දවසක් පිරිසිදු පඬෙරවන් වැලිතලාවක් දැක බුද්ධඥානය මේ ලෙසට පරිශුද්ධ යයි බුදුන්ගේ ඥානය සිහිකළේය. ස්තුති කළේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේ පෙර කරන ලද පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීය. පුලිනං සොභනං දිස්වා යනු පරිපූර්ණ කරන ලද්දක් මෙන් විපුලාකාරෙන පිරිසිදු කරන ලද අයුරින් පවත්තං සිටියේනුයි පුලින නමි. සෝභන වූ වැලි දැක ශ්රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සිහිකෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
ඤාණසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
129. ගන්ධපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණො සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්ධපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවල කරන ලද පින්රැස් ඇත්තේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද උපභෝග පරිභෝගයන් ගෙන් අනූන වූයේ එක් දවසක් විපස්සි භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන් සමග වැඩහිඳිනු දැක පැහැදුණු සිතැත්තේ ලදපස්මලින් පූජා කළේය. හේ එම සිත් පැහැදීමෙන් දිවි ඇති තෙක් සිට එයින් දෙව්ලොව උපන්නේ දිව්ය සම්පත් අනුභවකොට පසුකලෙක මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය.
හේ එක් දවසක් පෙර කරන ලද පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ මේ කුසලයෙන් මම නිවනට පැමිණියේ වෙමි යි පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුවණ්ණ වණ්ණො සම්බුද්ධො’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.