120. ජාතිපූජක ථේර අපදාන වර්ණනාව
ජායන්තස්ස විපස්සිස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ නැකැත් කියන්නන් විසින් විපස්සි බෝධි සත්ත්වයන්ට කියන ලද ලක්‍ෂණ නිමිත්ත අසා, ‘මේ කුමාරයා වනාහි බුදුවී සකල ලෝකයාට අග්‍රව ශ්‍රේෂ්ඨව සියලු සත්ත්වයන් සසරින් ගොඩදමන්නේ යයි අසා, ඒ භාග්‍යවතුන් වහන්සේ කුමාර කල්හිම බුදුන්ට මෙන් පසුව ක්‍රමයෙන් කුමාරකාලය, යුවරජ කාලය රජ කාලයයි කාලත්‍රය ඉක්මවා බුදුරජාණන් වහන්සේ උපන් කල්හිද මහා පූජාවක් කොට එයින් චුතවූයේ තුසිත ආදී දිව්‍ය ලෝකවල ඉපිද දිව්‍යසැප අනුභව කොට පසුව මිනිසුන් අතර චක්‍රවර්ති ආදී මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ හත්අට වයස් කල්හිම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ජායන්තස්ස විපස්සිස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය.
නෙමිත්තානං සුණිත්‍වාන යනු මෙහි නිමිත්තං කරුණ සැපදුක් ඇතිවීමට හේතුව දනිත්නුයි නෙමිත්තා නමි. ඒ නෙමිත්තානං නක්‍ෂත්‍ර පාඨකයන්ගේ වචනය අසා යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දොළොස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
13. සෙරෙය්‍ය වර්‍ගය
121. සෙරෙය්‍යක ථේර අපදාන වර්ණනාව
අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් සෙරෙය්‍යක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ආත්මභාව සියදහස් ගණන් පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව තුන්වේදයෙහි පරතෙරට ගොස් ඉතිහාස ආදී සියලු බ්‍රාහ්මණ ධර්මවල කෙළවරට පැමිණියේ, එක් දවසක අභ්‍යවකාශයෙහි වැඩසිටි සපිරිවර භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මහරි මලක් ගෙන පූජා කරමින් අහසට දැමීය. ඒ මල් අහසෙහි වියනක් ව සත්දිනක් තිබී පසුව අතුරුදහන් විය. හේ එම අසිරිය දැක අතිප්‍රසන්න සිත් ඇත්තේ එම ප්‍රීති සොම්නසින්ම කලුරිය කොට තුසිත ආදී දෙව්ලෝවල ඉපිද එහි දිවසැපත් අනුභවකොට ඉන්පසුව මිනිස් සුව අනුභව කළේය. ඉන්පසු මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.
උන්වහන්සේ පසුකලක පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘අජ්ඣයකො මන්තධරො’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේමය.
සෙරෙය්‍යකං ගහෙත්‍වාන යනු මහරිගසෙහි හටගත් ජාති පුෂ්පය සෙරෙය්‍ය නමි. සෙරෙය්‍ය සෙරෙය්‍යක නමි. ඒ සෙරෙය්‍යකය ගෙන යන සම්බන්ධයි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ දෑසමන් මූනමල් සපු ආදී මල් පිහිටුවා පූජා කිරීමට කලක් නැති බැවින් එහි තිබුණු මහරිමල ගෙන පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
සෙරෙය්‍යක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
122. පුප්ඵථූපිය ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සා විදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵථූපිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පැමිණ ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණියේ එහි හරයක් නොදක්නේ ගිහිගෙය අත්හැර හිමවතට පිවිස තමා සමග වූ පන්දහසක් ශිෂ්‍යයන් සමග පංචඅභිඥා අෂ්ට සමාපත්ති උපදවා කුක්කුර නම් පර්වතය සමීපයෙහි පන්සලක් කරවා වාසය කරයි. එකල බුදුන් උපන් බව අසා ශිෂ්‍යයන් සමග බුදුරජාණන් වහන්සේ සමීපයට යනු කැමැත්තේ කිසියම් ව්‍යාධියකින් පෙළුණේ පන්සලට පිවිස ශිෂ්‍යයන් හමුවෙන් බුද්ධානුභාව ලක්‍ෂණ අසා පහන් සිතැත්තේ හිමවතින් සපු අසෝක දුම්මැල්ල තණ වැටකේ ආදි නොයෙක් මල් ගෙන්වාගෙන ස්තූපයක් කොට බුදුන්ට මෙන් පූජාකොට කලුරියකොට බ්‍රහ්මලෝකයට පැමිණියේ විය. ඉක්බිති ඔහුගේ ශිෂ්‍යයෝ ඔහුගේ ආදාහනය සිදුකොට බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ඒ පුවත ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් බලා අනාගත සංජානනයෙන් ප්‍රකට කිරීමක් කළසේක. හේ පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
ඉක්බිති තමාගේ පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදූරෙ’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය. කුක්කුරොනාම පබ්බතො යනු පර්වතයෙහි ශිඛරය කුක්කුරාකාරෙන බල්ලකුගේ ආකාරයෙන් පිහිටි බැවින් කුක්කුර පර්වතයයි ප්‍රසිද්ධියට ගියේ, ඒ සමීපයෙහි පන්සලක් කොට තවුසන් පන්දහසක් සමග වාසය කරන්නේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරුය.