107. නළමාලිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් නළමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතුවන කුශලකර්ම රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය පිහිටුවා කාමයෙහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව තණඇතිරියක් ඇතිරුවේය. එහි වැඩහුන් භාග්යවතුන් වහන්සේට බටමල්වලින් විජිනිපතක් කොට පවන්සලා දුන්නේ ය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. අනුමෝදනාද කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි පරිදාහ සන්තාප නොමැතිවූයේ කායචිත්ත සුඛයට පැමිණියේ නොයෙක් සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙර වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද්දේ ම ය.
නළමාලංගහෙත්වාන යනු නළති අසාරො නිස්සාරව බටදඬුවෙන්ද තනුකො ලුහුවූයේනුයි නළනමි. බටදඬුවෙහි මාලා මල නළමාල නමි. ඒ නළමාලයෙන් විජිනිපතක් කරවූයේනුයි සම්බන්ධයි. වීජනී විශේෂයෙන් වාතය මෙයින් දිනානුයි වීජනී. ඒ වීජනිය බුදුරජාණන් වහන්සේට පිරිනැමුවෙමි. බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වූයේ ම ය.
නළමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සත්වැනි බණවර වර්ණනාව සමාප්තයි.
108. ආසනූපට්ඨාපක ථේර අපදාන වර්ණනාව
කානනං වනමොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් ආසනුට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ගිහිගෙයි වසන්නේ එහි දොස් දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ එහි සපැමිණි භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණේ සිංහාසනයක් දුන්නේය. එහි වැඩහුන් භාග්යවතුන් වහන්සේට මල්කළඹක් ගෙන පුදා පැදකුණුකොට ගියේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි උසස්කුල ඇත්තේ ධන සම්පත් ඇත්තේ විය. හේ කාලාන්තරයකින් මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින් ම රහත් විය.
උන්වහන්සේ රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘කානනං වන මොගය්හ’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද්දේ ම ය.
ආසනුපට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
109. බිළාලිදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් බිලාලිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගිහිගෙයි වසන්නේ එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ අතිශයින් අල්පේච්ඡ සන්තුෂ්ට වූයේ අලමුල් ආදියෙන් යැපෙන්නේ වාසය කරයි. එකල්හි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පැහැදුණේ වැඳ ඇඹුල්කැඳ ගෙන පාත්රයෙහි වත් කළේය. තථාගතයන් වහන්සේ එය ඔහුට අනුකම්පාවෙන් සොම්නස් දනවමින් වැළඳූ සේක. හේ ඒ කර්මයෙන් එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිදි බැවින් නොගැඹුරු ම ය. අලමුල් ආදිය ඒ ඒ මුල් ජාතීන්ගේ නම් මය.