108. ආසනූපට්ඨාපක ථේර අපදාන වර්ණනාව
කානනං වනමොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් ආසනුට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ගිහිගෙයි වසන්නේ එහි දොස් දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ එහි සපැමිණි භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණේ සිංහාසනයක් දුන්නේය. එහි වැඩහුන් භාග්යවතුන් වහන්සේට මල්කළඹක් ගෙන පුදා පැදකුණුකොට ගියේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි උසස්කුල ඇත්තේ ධන සම්පත් ඇත්තේ විය. හේ කාලාන්තරයකින් මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින් ම රහත් විය.
උන්වහන්සේ රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘කානනං වන මොගය්හ’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද්දේ ම ය.
ආසනුපට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
109. බිළාලිදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් බිලාලිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගිහිගෙයි වසන්නේ එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ අතිශයින් අල්පේච්ඡ සන්තුෂ්ට වූයේ අලමුල් ආදියෙන් යැපෙන්නේ වාසය කරයි. එකල්හි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පැහැදුණේ වැඳ ඇඹුල්කැඳ ගෙන පාත්රයෙහි වත් කළේය. තථාගතයන් වහන්සේ එය ඔහුට අනුකම්පාවෙන් සොම්නස් දනවමින් වැළඳූ සේක. හේ ඒ කර්මයෙන් එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිදි බැවින් නොගැඹුරු ම ය. අලමුල් ආදිය ඒ ඒ මුල් ජාතීන්ගේ නම් මය.
බිලාලිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
110. රේණුපූජක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණ සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් රෙණුපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනේ ගිනිකඳක් මෙන් බබලන භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ නාමල් රේණුවක් ගෙන පූජා කළේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක.
හේ ඒ පිනින් එයින් චුත වූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට උපනුපන් භවයෙහි සියලු තැන පුදනු ලැබුවේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. රහත් වී දිවැසින් තමාගේ පූර්ව කර්මය දැක හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීය. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. සතරංසිව භානුමං යනු සතමත්තා සියයක් පමණ රංසි ප්රභා යම් පුරුෂයකුට වේද හේ සතරංසි නමි. ගාථාවේ ඡන්දස් පහසුව පිණිස සතරංසී යනුවෙන් කියන ලදී. නොයෙක් දහස් ගණන් නොයෙක් සියදහස් ගණන් රැස් යන අර්ථයි. භානු යනු ප්රභාවයි. භානු ප්රභාව යමෙකුට වේද හේ භානුමා නමි. ඒ සූර්යයා වැනි විපස්සි භාග්යවතුන් වහන්සේ දැක රේණු සහිත නාමලක් ගෙන අභිරෝපයිං පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු වේ ම ය.
රේණුපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
එකොළොස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
12. මහාපරිවාර වර්ගය
111. මහාපරිවාර ථේර අපදාන වර්ණනාව
විපස්සි නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මහා පරිවාර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි තෙමේම යක්ෂ යෝනියෙහි ඉපිද නොයෙක් සියදහස් ගණන් යක්ෂ පිරිවර ඇත්තේ එක් කුඩා දිවයිනක දිව්ය සම්පත් අනුභවකොට වෙසේ. ඒ දිවයිනෙහි චෛත්ය ආදියෙන් අලංකාර වූ විහාරයක් ඇත. භාග්යවතුන් වහන්සේ එහි වැඩම කළ සේක. ඉක්බිති ඒ යක්ෂ සේනාධිපතියා භාග්යවතුන් වහන්සේ එහි වැඩම කළ බව දැක දිවසළු රැගෙන ගොස් භාග්යවතුන් වහන්සේ වැඳ දිවසළුවලින් පූජා කළේය. පිරිවර සහිතව සරණ ගියේය. හේ එම පුණ්යකර්මයෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද එහි ස කාමාවචර සැප අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර චක්රවර්ති ආදී සැප අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.