106. උදකපූජක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද කුශල සමූහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් පුරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, වැඩිවිය පත්ව කුසල් අකුසල් දන්නේ, පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අහසින් වඩනාකල්හි නික්මුණු සවණක් බුදුරැස් කෙරෙහි පහන්වූයේ, දෑතින් ජලය ගෙන පූජා කළේය. ඔහු විසින් පුදන ලද ජලය රිදී බුබුළක් මෙන් අහසෙහි සිටියේය. හේ අතිශයින් පැහැදුණේ ඒ සොම්නසින්ම තුසිත දෙව්ලෝ ආදියෙහි උපන්නේ දිව්ය සම්පත් අනුභවකොට පසුකලක මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. ඝතාසනමිව ජලිතං යනු ඝත යනු ගිතෙල්ය. ගිතෙලට ආසනං ආධාර වේනුයි සතාසන යනු ගින්නය. නැතහොත් එය අසති අනුභව කරන්නේනුයි ඝතාසන යනු ගින්නමය. යම්සේ ගිතෙල් ඉසිවිට ගින්නෙහි ගිනිදැල් අතිශයින් දැල්වේද, එසේ ගිනිකඳක් මෙන් දිලිසෙන භාග්යවතුන් වහන්සේ යන අර්ථයි. ආදිත්තංව හුතාසනං යනු හුත යනු පූජා සත්කාරයයි කියනු ලැබේ. හුතස්ස පූජා සත්කාරයට අසුන් වූයේනුයි හුතාසන නමි. බබලන්නා වූ සූර්යයා මෙන් දෙතිස් උතුම් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් ව්යාමප්රභා මණ්ඩලයෙන් බබලන්නා වූ රන්වන් සම්බුදුන් වහන්සේ අනිලඤ්ජසෙ අහසෙහි වඩිනු දුටුවෙමි යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
උදක පූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
107. නළමාලිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් නළමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතුවන කුශලකර්ම රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය පිහිටුවා කාමයෙහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව තණඇතිරියක් ඇතිරුවේය. එහි වැඩහුන් භාග්යවතුන් වහන්සේට බටමල්වලින් විජිනිපතක් කොට පවන්සලා දුන්නේ ය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. අනුමෝදනාද කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි පරිදාහ සන්තාප නොමැතිවූයේ කායචිත්ත සුඛයට පැමිණියේ නොයෙක් සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙර වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද්දේ ම ය.
නළමාලංගහෙත්වාන යනු නළති අසාරො නිස්සාරව බටදඬුවෙන්ද තනුකො ලුහුවූයේනුයි නළනමි. බටදඬුවෙහි මාලා මල නළමාල නමි. ඒ නළමාලයෙන් විජිනිපතක් කරවූයේනුයි සම්බන්ධයි. වීජනී විශේෂයෙන් වාතය මෙයින් දිනානුයි වීජනී. ඒ වීජනිය බුදුරජාණන් වහන්සේට පිරිනැමුවෙමි. බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වූයේ ම ය.