95. ගන්ධමාලිය ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ගන්ධමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී සඳුන් අගිල් කපුරු කස්තුරි ආදී වූ නොයෙක් සුවඳ වඩා ශාස්තෲන් වහන්සේට ස්තූපයක් කරවීය. එහි මුදුන සමන්මලින් වැසීය. බුදුන්වැඳ ප්රාර්ථනාවක් ද කළේය. ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සිද්ධත්ථස්ස භගවතො’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අර්ථ ඇත්තේමය.
ගන්ධමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
96. තිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ අතරෙහි එක්තරා අකුසල දෝෂයකින් විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද කුලයෙහි උපන්නේ මුව වැද්දෙක් ව අරණ්යයෙහි වාසය කරයි. එකල්හි විපස්සි භාග්යවතුන් වහන්සේ පළොල් බෝධිය පිරුණු කොළදලු ඇත්තේය. හරිත වර්ණ ඇත්තේය. නිල් ආලෝකය ඇත්තේය. මනෝරම්ය වූයේය. ඒ දැක මල් තුනකින් පුදා පරඬැල් හැර භාග්යවතුන් වහන්සේගේ සම්මුඛයෙහි මෙන් පළොල් මහා බෝධිය වැන්දේය. හේ එම පිනින් එයින් චුතවූයේ දෙව්ලොව උපන්නේ එහි දිව්ය සම්පත් අනුභවකොට එයින් චුතවූයේ මිනිසුන් අතර ඉපිද එහි චක්රවර්ති ආදි සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලැබූ සොම්නස් සහගත හදවත් ඇත්තේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලෙකින්ම රහත්විය.
හේ මෙසේ ශුද්ධත්වයට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නේ ‘මිගලුද්දො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි මරණයට යතියි පමුණුවතියි මිග නමි. නැතහොත් බලමින් ඉහති පවත්නේනුයි මිග නමි. මුවන් මැරීමෙහි ලුද්දො ලොබ වූයේ කපන්නේ මිගලුද්ද නමි. පෙර මා පින් කරන සමයෙහි කාන්ත සංඛ්යාත වූ මහා අරණ්යයෙහි මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. පාටලිහරිතංදිස්වා යනු එහි මැනවින් පාලන කෙරේනුයි රත්පැහැ වේනුයි පාටලී. මල් රත්පැහැ ඇති බැවින් පාටලී යයි ව්යවහාරයක් වෙයි. පත්ර හරිතවර්ණ බැවින් නීල වර්ණ බැවින් හරිත වූ නීලවර්ණ පළොල් බෝධිය දැක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
97. මධුපිණ්ඩික ථේර අපදාන වර්ණනාව
විවනෙ කානනෙ දිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද යෝනියෙහි ඉපිද මහා අරණ්යයෙහි වාසය කරයි. එකල්හි විවේකය කැමැත්තෙන් සපැමිණි සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ දැක සමාධියෙන් නැගුණු උන්වහන්සේට සුමිහිරි මීපැණි දුන්නේය. එයින් වෙසෙසින් පහන් වූ සිතැත්තේ වැඳ ගියේය. හේ ඒ පිනින්ම සම්පත් අනුභව කරන්නේ දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.