96. තිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ අතරෙහි එක්තරා අකුසල දෝෂයකින් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද කුලයෙහි උපන්නේ මුව වැද්දෙක් ව අරණ්‍යයෙහි වාසය කරයි. එකල්හි විපස්සි භාග්‍යවතුන් වහන්සේ පළොල් බෝධිය පිරුණු කොළදලු ඇත්තේය. හරිත වර්ණ ඇත්තේය. නිල් ආලෝකය ඇත්තේය. මනෝරම්‍ය වූයේය. ඒ දැක මල් තුනකින් පුදා පරඬැල් හැර භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙහි මෙන් පළොල් මහා බෝධිය වැන්දේය. හේ එම පිනින් එයින් චුතවූයේ දෙව්ලොව උපන්නේ එහි දිව්‍ය සම්පත් අනුභවකොට එයින් චුතවූයේ මිනිසුන් අතර ඉපිද එහි චක්‍රවර්ති ආදි සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලැබූ සොම්නස් සහගත හදවත් ඇත්තේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලෙකින්ම රහත්විය.
හේ මෙසේ ශුද්ධත්වයට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘මිගලුද්දො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි මරණයට යතියි පමුණුවතියි මිග නමි. නැතහොත් බලමින් ඉහති පවත්නේනුයි මිග නමි. මුවන් මැරීමෙහි ලුද්දො ලොබ වූයේ කපන්නේ මිගලුද්ද නමි. පෙර මා පින් කරන සමයෙහි කාන්ත සංඛ්‍යාත වූ මහා අරණ්‍යයෙහි මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. පාටලිහරිතංදිස්වා යනු එහි මැනවින් පාලන කෙරේනුයි රත්පැහැ වේනුයි පාටලී. මල් රත්පැහැ ඇති බැවින් පාටලී යයි ව්‍යවහාරයක් වෙයි. පත්‍ර හරිතවර්ණ බැවින් නීල වර්ණ බැවින් හරිත වූ නීලවර්ණ පළොල් බෝධිය දැක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
97. මධුපිණ්ඩික ථේර අපදාන වර්ණනාව
විවනෙ කානනෙ දිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද යෝනියෙහි ඉපිද මහා අරණ්‍යයෙහි වාසය කරයි. එකල්හි විවේකය කැමැත්තෙන් සපැමිණි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක සමාධියෙන් නැගුණු උන්වහන්සේට සුමිහිරි මීපැණි දුන්නේය. එයින් වෙසෙසින් පහන් වූ සිතැත්තේ වැඳ ගියේය. හේ ඒ පිනින්ම සම්පත් අනුභව කරන්නේ දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘විවනෙ කානනෙ දිස්වා’ යනාදිය කීය. එහි විවනෙ යනු විශේෂයෙන් වනය පැතිරුණේ විවන නමි. ඇත් අස් රිය ශබ්දයන්ගෙන්ද බෙර හඬින්ද වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් පහවූ ව්‍යාප්ත නොවූ යන අර්ථයි. කානන සංඛ්‍යාත වූ මහා අරණ්‍යයෙහි විවනෙ යන සම්බන්ධයි. ඔසධිංව විරොවන්තං යනු අභිවර්ධනය වේනුයි ජොතනං කැමති කැමති දේ නිපදවානුයි ඔසධී. ඕෂධී තාරකාව මෙන් බබලත්නුයි කියයුතු තන්හි ගාථා බන්ධන පහසුව සඳහා ඔසධීංව විරොචන්ති යනුවෙන් කියන ලදි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.
මධුපිණ්ඩික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
98. සේනාසනදායක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සේනාසන දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී තමාගේ වසනස්ථානය වූ වනාන්තරයට සපැමිණි භාග්‍යවතුන් වහන්සේට ප්‍රණාම කොට කොළ ඇතිරියක් අතුරා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන වටා බිත්තියක් කොට මල්පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත්විය.
පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සිද්ධත්‍ථස්ස භගවතො’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සේනාසන දායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
99. වෙය්‍යාවච්චක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් වෙය්‍යාවච්චකර තෙරුන් වහන්සේගේ අපදානයයි. උන්වහන්සේගේ උත්පත්ති ආදිය යට කියන ලද පරිද්දෙන් ම දතයුතු ය.
වෙය්‍යාවච්චකර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
100. බුද්ධුපට්ඨාක ථේර අපදාන වර්ණනාව
විපස්සිනො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සක්පිඹින කුලයක ඉපිද වැඩිවිය පත්ව තමා සියලු සක්පිඹීමෙහි දක්‍ෂ වූයේ විය. හේ නිතරම භාග්‍යවතුන් වහන්සේට සක පිඹීය. සක් හඬින්ම පූජා කළේය. හේ එම පිනින්ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතැන ප්‍රකට වූයේ මහා ප්‍රතිරාව දෙන හඬ ඇත්තේ මිහිරිහඬ ඇත්තේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි ප්‍රසිද්ධ කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ මධුරස්සර යයි ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සෙ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.