7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ අපදානයයි. මොහු වනාහි පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ භවයෙහි නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහසල් ගෘහපති කුලයක ඉපිද දැනමිති බවට පත්ව එක්දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක තම සසුනෙහි පළමුව අබෝධ කරගත් ධර්ම ඇති චිරරාත්රඥයන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර පතන්නේ සියදහසක් භික්ෂූන් පිරිවරාගත් භාග්යවතුන් වහන්සේට සත්දවසක් මහදන් පවත්වා ප්රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහ්නසේද ඔහුට අනතුරක් නැති බව දැක වාසනා සම්පත්තිය ප්රකාශ කළ සේක. ඔහු දිවි ඇතිතාක් පින් කරන්නේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්යයක් ප්රතිෂ්ඨාපනය කරනු ලබනවිට චෛත්යය ඇතුළෙහි රුවන්ගෙයක් කරවීය. චෛත්යය වටා රුවන් ඇගෑ දහසක්ද කරවීය.
ඔහු මෙසේ පින්කොට එයින් මියපරලොව ගොස් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මහාකාල නම් කෙළෙඹියෙක්ව අට කිරියක් තරම් කුඹුරෙහි හැල්සහල් ගබඩාව හැර ගත් හැල්සහලින් නොකඩවා කිරිබත් සාදවා එහි මීපැණි, ගිතෙල්, සකුරු ආදිය බහා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දුන්නේය. හැල්සහල් ගබඩාව හැර ගත් ගත් තැන නැවත පුරවන ලද්දේය. ගොයම් කිරිවදනා කල්හි පුථුකග්ග නම් දානයක් දුන්නේය. ගොයම් කපන කල්හි ලායනග්ග නම් දානයක්ද, මිටිබඳනා කල්හි වේණග්ග නම් දානයක්ද, කොළකැටි කරන කල්හි කලාපග්ග නම් දානයක්ද ගොයම් මඩනා කල්හි බටග්ග නම් දානයක්ද, ගොඩගසනා කල්හි භණ්ඩග්ග නම් දානයක්ද, වී මනිනා කල්හි මිනග්ග නම් දානයක්ද කොටුගෙවල්හි තබනා කල්හි කොට්ඨග්ග නම් දානයක්ද යනුවෙන් මෙසේ එක් ශස්ය වාරයෙක්හි නවවරක් අග්රදානය දුන්නේය. එම ශස්යය වනාහි තවතවත් ඉතිරිව තිබුණේය.
මෙසේ දිවි ඇතිතෙක් පින්කොට දෙවියන් අතරද මනුෂ්යයන් අතරද සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරම කපිලවත්ථු නගරට නුදුරෙහි දොණවත්ථු නම් බමුණු ගමෙහි බමුණු මහසල් කුලයෙහි උපන්නේය. ඔහුට කොණ්ඩඤ්ඤ යනුවෙන් ගෝත්රයෙන් ලැබුණු නමක් විය. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය උගෙන ලක්ෂණ මන්ත්රයන්හිද පරතෙරට ගියේය. ඔහු වනාහි, අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ තුසීපුරයෙන් චුතව කපිලවත්ථු නුවර සුදොවුන් මහරජුගේ ගෙයි උපත ලැබ ඔහුගේ නම් තබන දිනයෙහි බමුණන් එකසිය අටදෙනෙකුන් කැඳවනු ලැබූ කල්හි, ලක්ෂණ පරීක්ෂා කරනු පිණිස මහාතලයට කැඳවනු ලැබුවාවූ බමුණන් අටදෙන අතුරින් නවකයා ව මහාපුරුෂයාගේ ලක්ෂණ සම්පත්තිය දැක නිසැකයෙන්ම මොහු බුදුවන්නේ යයි නිෂ්ඨාවට පැමිණ බෝධිසත්ත්වයන්ගේ මහාභිනිෂ්ක්රමණය අපේක්ෂා කරන්නේ හැසිරෙයි.
බෝධිසත්ත්වයන් වහන්සේද මහත් පිරිවරින් වැඩෙන්නේ පිළිවෙලින් වැඩිවිය පත්ව ඥානය මුහුකුරා ගොස් එකුන් විසිවැනි වර්ෂයෙහි මහාභිනිෂ්ක්රමණය කරමින් අනෝමා ගංතෙර දී පැවිදිව පිළිවෙලින් උරුවේලාවට ගොස් මහාප්රධාන වීර්යය කළේය. එකල්හි කොණ්ඩඤ්ඤ මානවක තෙමේ බෝසතුන් පැවිදි වූ බව අසා ලක්ෂණ පරීක්ෂා කළ බමුණන්ගේ පුත්රයන් වූ වප්ප මාණවක ආදීන් සමග තමා පස්වැනිව පැවිදිව පිළිවෙලින් බෝසතුන් වෙත එළඹ සයවසක් උන්වහන්සේට උපස්ථාන කරන්නේ, රළු ආහාර අනුභවයෙන් කලකිරී ඉවත්ව ඉසිපතනයට ගියේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ රළු ආහාර අනුභවයෙන් ලද කායබල ඇත්තේ. වෙසක් පුණු පොහෝදා බෝරුක්මුල අපරාජිත පර්යංකයෙහි හුන් සේක් තුන්මරුන්ගේ හිස් මැඩ බුද්ධත්වයට පත්ව සත් සතියක් බෝමැඩ ම කල්ගෙවා පස්වග තවුසන්ගේ ඥානය මුහුකුරා ගිය බව දැන ඇසළ පුණුපොහෝ දින ඉසිපතනයට වැඩ ඔවුන්ට ධම්මචක්කප්පවත්තන සූත්රය දේශනා කළ සේක. දේශනාව කෙළවර කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ දහඅට කෝටියක් බ්රහ්මයන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති පුරපස පස්වන දින අනන්තලක්ඛණ සූත්රාන්ත දේශනාවෙන් රහත්බව සාක්ෂාත් කරගත් සේක.
මෙසේ උන්වහන්සේ රහත්බවට පත්ව කවර කර්මයක් කොට මම ලොව්තුරා සැපයට පැමිණියෙම් දෝ හෝයි මෙනෙහි කරන සේක් තමන් වහන්සේගේ පූර්ව කර්මය ප්රත්යක්ෂයෙන් දැන සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය උදානයක් ලෙස දක්වන සේක් ‘පදුමුත්තරබුද්ධං’ යනාදිය කියූ සේක. එහි අර්ථය යට කියන ලද්දේමැයි. ලෝකජෙට්ඨං විනායකං යනු සකල සත්ව ලෝකයට ජ්යෙෂ්ඨය, ප්රධානය යන අර්ථයි. විශේෂයෙන් හික්මවිය යුතු සත්ත්වයන් සංසාර සාගරයෙහි පරතෙර වූ අමෘතමහා නිර්වාණයට පමුණුවයි. සම්ප්රාප්ත කරවානුයි විනායක නමි. එම විනායකයා. බුද්ධභූමි අනුප්පත්තං යනු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බිම = බුද්ධභූමි, සර්වඥතාඥානය. එයට පැමිණියේ, එය අවබෝධ කරගත්තේනුයි බුද්ධභූමි අනුප්පත්ත නමි. ඒ බුද්ධභූමියට පැමිණ සර්වඥතා ඥානයට පැමිණියහු බුද්ධභූත යන අර්ථයි. පඨමං අද්දසං අහං යනු පළමුව වෙසක් පුණුපොහෝ දින රාත්රියෙහි අළුයම් වේලෙහි බුදුබවට පත් පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි.