8. පිණ්ඩෝලභාරද්වාජ ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනො ආදි වශයෙන් ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන්ගේ අපදානයයි. මොහුද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනතැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සිංහයෝනියෙහි ඉපිද පර්වතය පාමුල ගුහාවෙහි වසයි. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුග්රහ කරනු පිණිස, ඔහු ගොදුරු සොයා නික්මුණුකල්හි ඔහුගේ නිදන ගුහාවට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක. සිංහයා ගොදුරුගෙන ආපසු එන්නේ ගුහාදොර සිට භාග්යවතුන් වහන්සේ දැක තුටුපහටුව ජලයෙහි හටගත් මලින්ද, ගොඩබිම හටගත් මලින්ද පූජාකොට සිත් පහන් කරන්නේ භාග්යවතුන් වහන්සේගේ ආරක්ෂාව පිණිස අනිකුත් වන මෘගයන් ඉවත්කරනු පිණිස තුන්වේලාවක සිංහනාද කරන්නේ බුදුන් කෙරෙහි පිහිටුවාගත් සිහියෙන් සිටියේය. පළමු දිනයෙහි යම්සේද එසේ සත්දිනක් පූජා කළේය. භාග්යවතුන් වහන්සේ සත්දින ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගිට මොහුට මෙපමණක් හේතුසම්පත් වටින්නේමැයි ඔහු බලාසිටියදීම අහසට පැනනැගී විහාරයටම වැඩිසේක.
සිංහයා බුදුරජාණන් වහන්සේ වෙන්ව යාමේ දුක ඉවසා දරාගනු නොහැක්කේ කලුරියකොට හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව නුවරවැසියන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැහැදී සත්දිනක් බුද්ධප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් පවත්වා දිවිඇතිතාක් පින්කොට වරින්වර දෙවිමිනිසුන් අතර හැසිරෙන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කොසඹෑවෙහි උදේන රජුගේ පුරෝහිතයාගේ පුත්රයකු වී උපන්නේය. භාරද්වාජ යයි ඔහුට නමක් විය. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය උගෙන මානවකයන් පන්සිය දෙනකුට මන්ත්ර හදාරවන්නේ මාහැඟි බවින් ගරුබවට පත්වූයේ ඔවුන් විසින් අත්හැර දමනු ලැබුයේ රජගහ නුවරට ගොස් භාග්යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට ලැබෙන ලාභසත්කාර දැක සසුනෙහි පැවිදිව ආහාරයෙහි පමණ නොදන්නෙක් ව වාසය කරයි. ශාස්තෲන් වහන්සේ උපායයෙන් ආහාරයෙහි පමණදත් බවෙහි පිහිටුවන ලද්දේ විදර්ශනා වඩා නොබෝ කලකින්ම ෂට් අභිඥා ඇත්තෙක් විය. ෂට් අභිඥා ඇත්තෙක් ව, බුදුන් හමුවෙන් ශ්රාවකයන් විසින් යමකට ‘පැමිණිය යුතුද මා විසින් එයට පැමිණෙන ලද්දේය’යි භික්ෂු සංඝයා අතර යම්කෙනෙකුට මාර්ගය ගැන හෝ ඵලය ගැන යම් සැකයක් ඇත්තේනම් ඔහු මා විමසාවා’යි සිංහනාද කළේය. ඒ නිසා භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි, මාගේ සිංහනාද කරන ශ්රාවක භික්ෂූන් අතර යමෙක් වේද ඒ පිණ්ඩොලභාරද්වාර යයි අග්ර ස්ථානයෙහි තැබූ සේක.
අගතැන්පත්ව පෙර කරන ලද පුණ්ය සම්භාරය සිහිකොට සොම්නස් වශයෙන් තමාගේ පුණ්යකර්ම අපදානය දක්වන්නේ පදුමුත්තරො ආදිය කීය. එහි අර්ථය යට කියන ලද්දේමය. පුරතො හිමවන්තස්ස යනු හිමාලය පර්වතයෙන් පූර්ව දිග්භාගයෙහි යනු අර්ථයි. චිත්තකූටෙ වසී තදා යනු යම්කලෙක මම මෘගයන්ට රජවූ සිංහයෙක් ව හිමාලය පර්වත සමීපයෙහි වසම්ද එකල්හි පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ නොයෙක් ඖෂධවලින්ද, නොයෙක් රත්නයන්ගෙන්ද චිත්ර වූ බැවින්ද, විචිත්ර වූ බැවින්ද චිත්තකූටෙ චිත්රපර්වත මුදුනෙහි විසූහයි සම්බන්ධයි.
අභිතරූපො තත්ථාසි යනු අභීත ස්වභාව ඇති, නිර්භය ස්වභාව ඇති මෘගරාජයෙක් එහි ආසි විය යන අර්ථයි. චතුක්කමො යනු යස්ස සද්දං සුණිත්වාන යනු යම් මෘගරාජයකුගේ සිංහනාදය අසා බහුජනා බොහෝ සත්ත්වයෝ වික්ඛම්භන්ති විශේෂයෙන් කම්පනයට පත්වෙති. බිය වෙති.
සුථුල්ලං පදුමං ගාය්හ යනු භාග්යවතුන් වහන්සේ කෙරෙහි ප්රසාදයෙන් මැනැවින් පිසුණු නෙළුම්මලක් ඩැහැගෙන නරාසභං මිනිසුන්ට ආසභං උත්තම වූ ශ්රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපගඤ්ජිං යනු සමීපයට ගියෙමි යන අර්ථයි.
වුට්ඨිතස්ස සමාධිම්හා යනු නිරෝධ සමාපත්තියෙන් නැගුණු බුදුරජාණන් වහන්සේට එම මල අභිරෝපයිං පූජා කෙළෙමි යන අර්ථයි. චතුද්දිසං නමස්සිත්වා යනු සිව්දිසාවන්හි නමස්කාරකොට සකං චිත්තං පසාදෙත්වා ආදරයෙන් පිහිටුවා සීහනාදං අභීත නාදයක් කෙළෙමි යන අර්ථයි.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ විසින් දෙවා වදාළ විවරණය ප්රකාශ කරන්නේ පදුමුත්තරො ආදිය කීය. එය නොගැඹුරුය.
වදතං සෙට්ඨො යනු අපි බුදුවරු වෙමුයි අපි බුදුවරු වෙමුයි කියන අන්ය තීර්ථකයන්ට ශ්රේෂ්ඨ වූ උත්තම වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේක යනු සම්බන්ධයි. ඒ වැඩවදාළ භාග්යවතුන් වහන්සේගේ ඒ ධර්මය ප්රකාශ කරන්නෙමු. අසන්නෙමු යන අර්ථයි.
තෙසං භාසපරෙතානං යනු සිනාවෙන් සෝමනස්සයෙන් පරේතානං මැඩුණු පැමිණි ඒ දෙවිමිනිසුන්ට ලොකනායකො යනු ලෝකයට නායක තෙමේ. ස්වර්ගමෝක්ෂ සම්පාදක තෙමේ. මම සද්දං මාගේ සිංහනාදය. පකින්තෙසි ප්රකාශ කළේය. කීවේය. දීඝදස්සී අනාගත කාලය දක්නා. මුනිවරුන් අතර මහාමුනිවරයා. සෙසු ගාථා පහසුවෙන් දතහැකි වේමය.
පදුම නමින් සක්විති රජකුවී ජාතීන් හැටසයකට ප්රධාන වූ ප්රධානත්වයට පත්වූ රාජ්යය කරන්නේය යන අර්ථයි.
කප්පසත සහස්සම්හි කල්ප සියදහසක අවසානයෙහි යන අර්ථයි.