9. ඛදිරවනියරේවත ථේර අපදාන වර්ණනාව
ගංගාභාගීරසීනාම යනාදි වශයෙන් ආයුෂ්මත් ඛදිරවනිය රේවත තෙරුන්ගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ, ඒ ඒ භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර බුදුරදුන් කල්හි හංසවතී නුවර තීර්ථනාවික කුලයෙහි ඉපිද මහා ගංගාවෙහි ප්රයාග තීර්ථයෙහි තීර්ථ නෞකාවකින් කර්මාන්ත කරන්නේ එක්දිනක් ශ්‍රාවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ ගංතෙරට පැමිණිබව දැක ප්‍රසන්න සිතින් පහුර යොදා මහත් වූ පූජා සත්කාරයෙන් යුතුව එගොඩට පමුණුවා එක්තරා භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ විසින් ආරණ්‍යක භික්ෂූන් අතර අගතන්හි තබනු ලබනු දැක එම තනතුර පතා භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනාව නිවැරදි බව ප්‍රකාශ කළ සේක.
ඔහු එතැන් පටන් පින් රැස්කරන්නේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් විඳ මෙම බුද්ධෝත්පාද කාලයෙහි මගධරට නලගම රූපසාරි නමැති බැමිණියකගේ කුසයෙහි උපන්නේය. මව්පියෝ වැඩිවියපත් ඔහු ගෘහබන්ධනයෙන් බඳිනු කැමැතිව ඔහුට දැන්වූහ. ඔහු සැරියුත් තෙරුන්ව පැවිදි වූ බැව් අසා මාගේ දෙටු සොහොයුරු උපතිස්ස ආර්යයා මේ සම්පත් හැරදමා පැවිදි විය. ඔහු හැලූ කෙලපිඩ මම කෙසේනම් අනුභව කරන්නෙම්දැයි උපන් සංවේග ඇත්තේ මලපුඩුව වෙතට නොයන මෘගයකු මෙන් ඥාතීන් රවටා හේතු සම්පත්තියෙන් පොළඹවනු ලබන්නේ භික්ෂූන් සමීපයට ගොස් ධර්ම සේනාපතිගේ බාල සොහොයුරා බව දන්වා තමාගේ පැවිදිවීමට කැමැත්ත දැන්වීය. භික්ෂූහු ඔහු පැවිදිකරවා විසිවයස් පිරුණු ඔහු උපසම්පදා කොට කර්මස්ථානයෙහි යෙදවූහ. ඔහු කමටහන් ගෙන කිහිරි වනයට පිවිස විශ්‍රාම ලබන්නේ උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ ඥානය මුහුකුරා ගිය බැවින් නොබෝ කලෙකින්ම ෂට් අභිඥා සහිතව රහත් විය. ඔහු රහත්ව ශාස්තෲන් වහන්සේද ධර්ම සේනාපතීන් වහන්සේද වැඳීමට සෙනසුන හකුලා තබා පාසිවුරු ගෙන නික්ම අනුපිළිවෙලින් සැවැත් නුවරට පැමිණ ජේතවනාරාමයට පිවිස ශාස්තෲන් වහන්සේද ධර්මසේනාපතීන් වහන්සේද වැඳ කිහිපදිනක් ජේතවනාරාමයෙහි වාසය කළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ආර්ය සංඝයා මැද වැඩහුන් සේක් ඔහු ආරණ්‍යක භික්ෂූන් අතර අගතන්හි තැබූ සේක. “මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර යමෙක් ආරණ්‍යක භික්ෂූන් අතරින් අග්‍රවේද ඒ රේවතය”යි,
මෙසේ අගතැන්පත්ව තමාගේ පූර්ව කර්මයන් සිහිකොට සතුටු සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ගංගා භාගීරසී යි ආදිය කීය. එහි ගංගා යනු ගයමින් ඝෝෂා කරමින් යන්නීයයි ගංගා නම් වේ. නැතහොත් ගො කියන්නේ පෘථුවියයි. එහි ගියාය පැවැත්තා යයි ගංගානම් වෙයි. අනවතප්ත විල තුන්යලක් පැදකුණුකොට ගියතන්හි ආවර්ත ගංගා යන වචනයෙන් පර්වත මුදුනින් ගියතන්හි වැදුණු තන්හි බහලගංගා මහාගංගා යනුවෙන්ද, තිරිසන් පර්වතයෙහි වැද ගියතන්හි උම්මග්ගගංගා උමංගඟ යනුවෙන්ද, එතැනින් මහා පර්වතයෙහි වැදී පස් යොදුනක් අහසින් ගිය තන්හි ආකාසගංගා අහස්ගඟ යනුවෙන්ද ඇයම වැටුණු තැන බිඳගෙන හටගත් පස්යොදුන් පොකුණු සමූහය බිඳගෙන එහිදී ඇඟිලි පස මෙන් පහකට බෙදී ගංගාය, යමුනාය, සරභූය, මහීය, අචිරවතිය යනුවෙන් නම් පසක් ඇතිව දඹදිව කැබලි පහක් කොට කොටස් පහක් කොට, කැබලි පස, කොටස් පස මෙසේ ගියාහු පැවැත්තාහු භාගීරසී නමි. ගංගා වූවාද භාගීරසී වූවාද ගංගාභාගීරසී නමි. භාගීරසිගංගා යයි කිවයුතු තැන ගාථා බන්ධන පහසුව පිණිස පෙර පුරුදු වශයෙන් කියන ලදැයි දතයුතුය. හිමවන්තා පභාවිතා යනු සතුන් හිංසා කරතියි, ශීතලෙන් මරතියි මඩිතියි අළෝලනය කරතියි හිම නමි. හිම එයට ඇතියි හිමවා නමි. ඒ හිමවත පටන් පෝෂණය වූවා, පැවතුණා ගලාබස්නා වෙතියි හිමවන්ත පභාවිතා නමු. කුතිත්ථෙ නාවිකො ආසිං යනු ගංගාවෙහි සැඩපහරින් යුතු විෂම තොටුපළෙක කෙවුල් කුලයෙහි උපන්නේ නැවියෙක් ආසිං වීමියි අර්ථයි. ඔරිමෙචතරිංඅහං යනු පැමිණි පැමිණි මිනිසුන් එගොඩ සිට මෙගොඩට අහං මම තරිං තරණය කරවූවෙමි යන අර්ථයි.
පදුමුත්තර නායකො යනු දෙපා ඇත්තවුන්ට උත්තම වූ සත්වයන් නිර්වාණයට නායකො පමුණුවන්නකු වූ බුදුරජාණන් වහන්සේ මාගේ පුණ්‍ය සම්පත්තිය නිපදවන සේක් වසී සතසහස්සෙහි ක්ෂීණාශ්රවයන් සියදහස් ගණනක් සමග ගංසැඩපහර තරණය කිරීමට එහි වැඩිසේක් යන සම්බන්ධයි.
බහූනාවා සමානෙත්වා යනු සපැමිණි ඒ සම්බුදුරජාණන් වහන්සේ දැක සුසංඛතං වඩුවන් විසින් මනාසේ සංඛතං කරනලද, නිෂ්පාදනය කරන ලද බොහෝ නැව් ගෙන්වා නැව් දෙක දෙක එක්තැන්කොට ඒ නැවෙහි මත්තෙහි මඩුලුවහලක් කත්වා නංවා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු වූ පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේ පටිමානිං පිදුවෙමි යන අර්ථයි.
ආගනත්වා න ච සම්බුද්ධො යනු මෙසේ එකට බැඳි නැවින් එහි වැඩමවා ගෙනවුත් තඤ්චනාවකං උතුම් නැවට නැඟුණු සේක යනු සම්බන්ධයි. වාරිමජ්ඣෙඨිතො සත්ථා යනු නැවට නැඟුණු ශාස්තෲන් වහන්සේ ගංදිය මැද සිටිසේක්ම මෙම සොම්නස් සහිත ගාථා අභාසථ දෙසූ සේක යන සම්බන්ධයි.