10. ආනන්‍ද ථේර අපදාන වර්ණනාව
ආරාමද්වාරා නික්ඛම්ම යනාදීන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙරබුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිර්වාණයට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ශාස්තෲන් වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් සහෝදරයෙක්ව උපන්නේය. ඔහුට සුමනයයි නමක් විය. ඔහුගේ පියා වනාහි නන්දරාජා නම් විය. ඔහු තමාගේ පුත්‍රයා වූ සුමන කුමාරයා වැඩිවිය පත්වූ විට හංසවතී නගරයට යොදුන් දෙදහසක් ඈත භෝග නගරය දුන්නේය. ඔහු ඉඳහිට පැමිණ ශාස්තෲන් වහන්සේද පියාද බලයි. එකල්හි රජතෙමේ ශාස්තෲන් වහන්සේටද සිය දහසක් පමණ භික්‍ෂූන්ටද තමාම මනාසේ උපස්ථාන කරයි. අන් අයට උපස්ථාන කිරීමට නොදෙයි.
එසමයෙහි ප්‍රත්‍යන්තය කිපුණේ වෙයි. කුමාරයා එම ප්‍රත්‍යන්තය කුපිත වූ බව රජුට නොදන්වා තමාම එය සංසිඳවූයේය. ඒ අසා රජතෙමේ සතුටු සිතැත්තේ දරුව, ඔබට වරයක් දෙමි. ගනුවයි කීය. කුමාරයා ශාස්තෲන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද තෙමසක් උපස්ථාන කරමින් ජීවිතය නොවඳ කරගන්ට කැමැත්තෙමියි කීය. නොහැකියි. අනිකක් කියවයි කීය. දේව ක්‍ෂත්‍රියයන්ගේ කථා දෙකක් නම් නැත. මෙය මට දෙන්න, අනිකකින් වැඩක් නැතැයි කීය. යම්හෙයකින් ශාස්තෲන් වහන්සේ අනුදැන වදාරන සේක්ද දුන්නානම් වෙයි. ඔහු ශාස්තෲන් වහන්සේගේ සිත දැනගන්නෙමියි විහාරයට ගියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිසුණාහු වෙති. ඔහු භික්‍ෂූන් වෙත එළඹ ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස ආවෙමි. මට පෙන්වනු මැනවි. භික්‍ෂූන් වහන්සේද සුමන නම් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ උපස්ථායකයාය. උන්වහන්සේ වෙත යවයි කීහ. ඔහු තෙරුන්වහන්සේ වෙත ගොස් ස්වාමීනි, මට ශාස්තෲන් වහන්සේ පෙන්වනු මැනවැයි කීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහු බලා සිටියදීම පොළොවෙහි කිමිද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ස්වාමීනි, රාජපුත්‍රයා ඔබවහන්සේ දකිනු පිණිස පැමිණේයයි කීහ. භික්‍ෂුව, එසේනම් අසුනක් පනවන්න. තෙරුන්වහන්සේද බුද්ධාසනය ගෙන ගඳකිළිය ඇතුළතදීම කිමිද ඔහු බලා සිටියදී පිරිවෙන පිටතදී මතුවී ගඳකිළි පිරිවෙනෙහි අසුන පැනවූහ. කුමාරයා මෙය දැක මේ භික්‍ෂූන් වහන්සේ මහත්වූ කෙනෙකැයි සිතක් ඇතිකර ගත්තේය.
භාග්‍යවතුන් වහන්සේද ගඳකිළියෙන් නික්ම පැනවූ අසුනෙහි වැඩහුන් සේක. රාජකුමාරයා ශාස්තෲන් වහන්සේ වැඳ පිළිසඳර කථාකොට ස්වාමීනි, මේ තෙරුන්වහන්සේ ශාසනයෙහි හිතැත්තෙකැයි හඟිමි. එසේය කුමාරය, හිතවතෙකි. ස්වාමීනි, මුන්වහන්සේ කුමක්කොට වල්ලභ වූ සේක්ද? දානාදී වූ පින්කොට. මමත් අනාගතයෙහි බුද්ධ ශාසනයෙහි මේ තෙරුන් වහන්සේ මෙන් වන්නට කැමැත්තෙමි. හෙතෙමේ බුදුපාමොක් සංඝයා වහන්සේට සත්දවසක් කඳවුරෙහි දන් දී සත්වැනි දිනයෙහි ස්වාමීනි මා විසින් පියාගෙන් ඔබවහන්සේට තුන්මසක් පිළිදැගුම් කිරීමේ වරය ලැබුවෙමි. තුන්මසක් මාගේ වස්වැසුම ඉවසා වදාරනු මැනවැයි කියා ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ බව දැන පිරිවර සහිත භාග්‍යවතුන් වහන්සේ ගෙන යොදුනෙක්හි යොදුනෙක්හි ශාස්තෲන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද වැසීමට සුදුසු විහාර කරවා ඒ ඒ තන්හි වස්වන්නේ තමා වසන තැන සමීපයෙහි සියදහසෙකින් මිලට ගත් සෝභන නමැති උයනෙහි සියදහසකින් කරවන ලද විහාරයට පිවිසවා –
සත සහස්සෙන මෙ කීතං - සහසහස්සෙන කාරිතං,
සොභනං නාම උය්‍යානං පටිගණ්හ මහා මුනී
සිය දහසෙකින් ගෙන - සිය දහසෙකින් කරවු,
සෝබන නමැති මෙඋයන - පිළිගනු මැනවි මහමුනි
වස් එළඹෙන දිනයෙහි ශාස්තෲන් වහන්සේට මහදන් පවත්වා මේ ආකාරයෙන් දන් දෙනු මැනවැයි අඹුදරුවන් ඇමතීන් දන් දීමෙහිද කාර්ය ඉටුකිරීමෙහිද නියුක්ත කරවා තමා සුමන තෙරුන්වහන්සේ වසන තැන සමීපයෙහිම වාසය කරන්නේ මෙසේ තමාගේ වාසස්ථානයෙහි ශාස්තෲන් වහන්සේට තෙමසක් උවටැන් කළේය. පවාරණය ළංවූ කල්හි ගමට පිවිස සත්දවසක් මහදන් පවත්වා සත්වැනි දිනයෙහි ශාස්තෲන් වහන්සේගේ හා භික්‍ෂු සංඝයාගේද පාමුල තුන්සිවුරු තබා වැඳ ස්වාමීනි, මා විසින් කඳවුරෙහි පටන් යම් පුණ්‍යකර්මයක් කරන ලද්දේද එය ස්වර්ග සම්පත්ති ආදිය සඳහා කරන ලදි. ඉක්බිති මමද සුමන තෙරුන්වහන්සේ මෙන් අනාගතයෙහි එක් බුදුවරයකුට උපස්ථායකයෙක්ද හිතවතෙක්ද වන්නේනම් මැනවැයි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අනන්තරතාව දැක විවරණ දී වැඩිසේක.
ඔහු මේ බුද්ධෝත්පාද කාලයෙහි වසර සියදහසක් පින්කම් කොට ඉන් පසුවද භවයෙහි ඒ ඒ තැන උදාර පින්කම් රැස්කොට දෙවිමිනිසුන් අතර, සැරිසරන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමුතු බවට පත්ව පිඬුසිඟා වඩනා එක් තෙර කෙනෙකුන්ගේ පාත්‍රය ගනු පිණිස උතුරුසළුව පූජා කළේය. නැවත ස්වර්ගයෙහි ඉපිද එයින් චුතව බරණැස රජු වූ පසේබුදුවරුන් අටනමක් දැක උන්වහන්සේලා වළඳවා තමාගේ මඟුල් උයනෙහි පන්සල් අටක් කරවා උන්වහන්සේලාට සැතපෙනු පිණිස සියල්ල රුවන්මුවා ආසන අටක් ද මැණික් ආධාරක ද පිළියෙලකොට දී,